ආදි මුතුන්මිත්තන් සොයා පාහියන්ගලට ගිය ගමන……

තවත් එක් විවේකී සෙනසුරාදාවක අප උදෑසනම ලක ලෑස්ති වූයේ අපගේ ආදි මුතුන් මිත්තන්ගේ තිඹිරිගෙය ලෙස සැලකෙන ශ‍්‍රී ලංකාවේ විශාලතම ගල්ගුහාව නැරඹීමට සහ එහි අතීතය අධ්‍යයනය කිරීමටයි. කළුතර දිස්ත‍්‍රික්කයේ මායිමේ පිහිටි සුන්දර ගම්මානයක් වන යටගම්පිටිය ගම්මානයේ පිහිටි ඉතාමත් පෞරාණික වටිනාකමක් ඇති පාහියන්ගල ගල් පර්වතය අපගේ අද දිනයේ අවධානයට යොමු වීමට මූලික හේතුව වූයේ පසුගිය දිනවලදී සිදු වූ ගංවතුර සහ එහිදී පාහියන්ගල සහ බුලත්සිංහල ප‍්‍රදේශවලට සිදු වූ දැඩි හානියි. එම හානි හේතුවෙන් පාහියන්ගල දක්වා ගමන් කිරීමට පසුගිය දිනවලදී නොයෙක් බාධා ඇති වී තිබුණු අතර මේ වනවිට නැවත සියලූම දේ යථා තත්ත්වයට පත් වී තිබුණා.

සුපුරුදු පරිදි අප ගමන ආරම්භ කළේ කළුතරින්. කළුතර සිට හොරණ පාර ඔස්සේ ප‍්‍රථමයෙන් අප ගමන් කළ අතර ගල්පාතින් පසුව බුලත්සිංහල – මතුගම මාර්ගය ඔස්සේ වරකාගොඩට ගමන් කළා. අපගේ ප‍්‍රථම නැවතුම්පොළ වූයේ වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරස්ථානයයි.

වරකාගොඩ ගල්ලෙන් රජමහා විහාරස්ථානයද නමට අදාළව ගල්ලෙනක් තුළ තැනවූ පන්සලක් වුණු අතර මෙහි ඇති ඉපැරණි බව නිසා මෙය මේ ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධියට පත්ව තිබුණා.

මෙම විහාරස්ථානයේ අතීතය වංශකතා පොත්වල සනිටුහන් වී ඇත්තේ පස් යොදුන් රට ලෙස එවකට හැ`දින්වූ ප‍්‍රදේශයේ තැනවූ බලකොටුවක් ආශ‍්‍රිතව මෙම විහාරය ඇති වූ ලෙසයි. මෙම විහාරය තැනීමට මානාභරණ, කීර්ති ශ‍්‍රී වල්ලභ සහ කීර්ති ශ‍්‍රී මේඝ යන සහෝදරවරු තිදෙනා මූලික වී ඇති බවද දක්වා තිබෙනවා. පරාක‍්‍රමබාහු රජු විසින් රචිත ගලපාත ශිලා ලේඛනයේ පස් යොදුන් විහාරය ලෙස දක්වා තිබෙන්නේ මෙම විහාරස්ථානය බවද විද්වතුන් විසින් ඉදිරිපත් කළ මතවල ස`දහන් වනවා. මෙහි ඇති දහ අට රියන් බුදුපිළිමය මානාභරණ කුමරුවන්ගේ අධීක්ෂණයෙන් කළ නිර්මාණයක් බව ස`දහන් වනවා.

වරකාගොඩ ගල්ලෙන් විහාරය පිළිබ`දව අප ඉතාමත් වටිනා සහ වැදගත් කරුණු රාශියක් ලබා ගැනීමට ඒ අවට සිටි ගැමියෙක්ගේ උපකාර ලබා ගත් අතර මෙම ප‍්‍රදේශයේ සැ`ගවී ඇති වටිනා පුරාවෘත්ත රාශියක් අපට හෙළි කිරීමට ඔහු පසුබට වූයේ නැහැ. මෙලෙස දැනගත් තොරතුරු තවත් නුදුරු දිනයක ඔබ හා ගෙන ඒමේ බලාපොරොත්තුව ඇටිව අප වරකාගොඩ ගල්ලෙන් විහාරස්ථානයෙන් සමුගත්තේ අපගේ ගමන නැවත පාහියන්ගල දක්වා සිදු කිරීමටයි.
පාහියන්ගලට මෙහි සිට තිබුණේ විනාඩි තිහක පමණ ගමන් කාලයක්. වරකාගොඩ සිට දියකඩුවටත් එතැනින් බුලත්සිංහල දක්වාත් ගමන් කළ අප සේන්දු වූයේ පාහියන්ගලටයි.

ක‍්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ මුල් භාගයේදී අනුරාධපුර සමයේ රජ කළ මහානාම රජ සමයේ චීන ජාතික පාහියන් නම් භික්ෂුන්වහන්සේ නමක් ධර්ම සංචාරයන් ස`දහා ශ‍්‍රී ලංකාවට වැඩම කළ අවස්ථාවේදී උන්වහන්සේ මෙම ප‍්‍රදේශයේ මෙම ගල් තලාව ආශ‍්‍රිතව කාලයක් වැඩ විසූ බවත් ඒ අනුව මෙම ගුහාවට එම භික්ෂුවගේ නම වන ෆාහියන් යන නම තබා ඇති බවත් කාලයාගේ ඇවෑමෙන් ෆාහියන් යන්න පාහියන් ලෙස ජනවහරට එක් වී ඇති බවත් ස`දහන් වනවා.
ශ‍්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික ගල්ලෙන ලෙස විරුදාවලිය ලත් පාහියන්ගල ස්වභාවදහමේ ඉතාමත් විස්මිත නිමැවුමක්. බුලත්සිංහල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් යටගම්පිටිය ග‍්‍රාමයේ ස්වාභාවික පිහිටා ඇති ගල් පර්වතයක් ස්වභාවිකවම ලෙනක් ලෙස සැකසී තිබෙනවා.

මෙය පාහියන් භික්ෂුවගේ වාසයට ශ‍්‍රී ලංකාවේ ආදි මානවයන්ගේ වාසස්ථානයක්ව තිබී ඇති බව සැලකෙන අතර කාලනිර්ණයන්ට අනුව ලංකාවේ නවීන මානවයාගේ ජනාවාසකරණය අදින් වසර 50,000කට පමණ අතීතය දක්වා විහිදෙන බව තහවුරු වීමට පාහියන්ගල ලෙන තුළ සිදු කරන ලද කැණීම්වලින් හමු වූ සාක්ෂි සමත් වී ඇත.
අප මේ වනවිට පැමිණ සිටියේ පාහියන්ගල ලෙන තුළට පිවිසීමට ඇති පඩි පෙළ ඉදිරියටයි. මුහුදු මට්ටමින් අඩි 400ක පමණ උසින් පිහිටා ඇති මෙම ගල්ලෙනට නැගුමට පඩි 496ක් පසු කළ යුතුය.

සෙමෙන් සෙමෙන් අප ඉහළට නැගීම ආරම්භ කළෙමු. ගලින් තනා තිබූ පඩි පෙළ ඔස්සේ ගමන් ගන්නා විට වරින් වර ඉහළ සිට ඇදහැලූණු වතුර පහරවල්වලින් අප තරමක තෙමුණු අතර නිරන්තරයෙන්ම දෙසවනට ඇසුණේ සෙමෙන් ගලා ගිය ජල පහරවල ශබ්දයයි. අවසානයේ අප ගල්ලෙන තුළට පැමිණි අතර බැලූ බැල්මට නම් එහි එතරම් විශාලත්වයක් හෝ විශේෂත්වයක් තිබෙන බවක් නම් පෙනුණේ නැති අතර අප ඉන්පසුව අප ගල්ගුහාව තුළට ගමන් කළෙමු. ගල්ගුහාව තුළ සිට පිටත බැලූ විට මෙහි විශාලත්වය කෙතරම්දැයි අපට මනාව පසක් වුණා. අප ඉතාමත් විශාල වහලක් යට කුහුඹුවන් සේ සිටින අයුරක් අපට හැ`ගී ගියා. ගුහාව මධ්‍යයේ මේ වනවිටත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් සිදු කරමින් සිටින බව දක්නට ලැබුණා.

මේ පාහියන්ගල ගුහාව පිළිබ`ද වැඩිදුර කරුණු විමසීමේදී අපට දැනගත හැකි වූයේ මෙම ගුහාවේ තුන්දහසකට ආසන්න පිරිසකට ලැගුම්ගත හැකි බවයි. මෙය දැනට ගණනය කර ඇති පරිදි දිගින් අඩි 175ක් ද පළල අඩි 150ක් ද පමණ වනවා. මෙය මුහුදු මට්ටමේ සිට අඩි 400ක උසින් පිහිටා ඇති අතර ගුහාවේ පාමුල සිට මුදුන දක්වා අඩි 460ක් වනවා.

පාහියන්ගල ගුහාවේ කැණිම් කටයුතු ආරම්භ වී ඇත්තේ 1986 වසරේ වන අතර එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වන ශිරාන් දැරණියගල මහතා මෙම කැණීම් කටයුතුවල මූලිකත්වය ගෙන තිබෙනවා. මේ කැණිම්වලින් මිනිස් හිස් කබල් පහක් හමු වී ඇති අතර ඒවායේ ඇති සුවිශේෂී ලක්ෂණයක් ලෙස හිස් කබල් වර්ණ ගන්වා ඇති බව ඔහු ඇතුළු කණ්ඩායම විසින් ඒ අවස්ථාවේ නිරීක්ෂණය කර තිබෙනවා. ඒ අනුව එකල විසූ මිනිස් කොට්ඨාසය මිහිදන් කළ මළ සිරුරු නැවත ගොඩ ගෙන යම් කිසි වතාවත් සිදුකොට හිස් කබලවල වර්ණ ගන්වා නැවතත් මිහිදන් කර ඇති බව විශ්වාස කරනවා. ඒ අනුව යම් කිසි ඉහළ ශිෂ්ටාචාරයක් සහිත මානවයන් පිරිසක් මෙහි විසූ බව අපට නිගමනය කළ හැකි වනවා.
මීට අමතරව එකල එම ආදිවාසීන් විසින් ප‍්‍රයෝජනයට ගත්තේයැයි සැලකෙන ආයුධ සහ මෙවලම් ද සොයාගෙන ඇති අතර ඒවායේ ආයු කාලය කාබන් 14 කාල නිර්ණය පරීක්ෂාවට අනුව වසර 37,000ක් පමණ අතීතයට දිව යන බව සොයාගෙන තිබෙනවා. මීට අමතරව මොවුන් විසින් ආහාරයට ගත්තා යැයි සැලකෙන බෙල්ලන්ගේ කටු, අස්වාභාවික ලෙස කැඞී බි`දී ගිය සතුන්ගේ ඇටකටු, මීයන්ගේ සහ වෙනත් ක්ෂීරපායීන්ගේද කොටස් හමු වී ඇති අතර බෙල්ලන් ආදිය ආහාරය ගැනීම ස`දහා සිදුරු කර ඇති ස්ථාන නිරීක්ෂණය කිරීමේදී මොවුන් එකලද දියුණු ආයුධ භාවිත කර ඇති බවට නිගමනය කර තිබෙනවා. ගල් ආයුධ යුගයේ දියුණුතම ආයුධ ලෙස සැලකෙන ක්ෂුද්‍ර ගල් අවිද මොවුන් විසින් භාවිත කර ඇති බව සොයාගෙන තිබෙන අතර ඒවා විවිධ ජ්‍යාමිතික හැඩවලින් යුතු ඒවා වන බව නිරීක්ෂණය කොට තිබෙනවා. අදටත් මෙම කැණීම්වලදී හමු වූ සමහර කොටස් පාහියන්ගල ඇති එක් කොටසක තැන්පත් කර ඇති අතර ඒවා අවශ්‍ය නම් නිරීක්ෂණය කළ හැකි වනවා.
පාහියන්ගල ගුහාව හා ඒ අවට ප‍්‍රදේශ මේ වනවිට භික්ෂූන් වහන්සේලාගේ පරිභෝජනය උදෙසා වෙන් වී ඇති අතර ගල් ලෙනට පහත කොටසේ භික්ෂූන් උදෙසා දන් ශාලාවක් සහ ආවාසගෙයක් තනා තිබෙනවා.

අප ඉන්පසුව පිවිසුණේ ගල් ලෙන පිටුපසින් ලෙන මුදුනට නැගීම ස`දහා තැනී ඇති මාර්ගයේ ගමන් කිරීමටයි. මෙය සාමාන්‍යයෙන් පාහියන්ගල ලෙන නැරඹීමට සහ දානය දීමට පැමිණෙන පුද්ගලයන් ගමන් නොගන්නා මාර්ගයක් වන අතර මෙම ලෙන මුදුනේ තනාගත් කුටිවල භික්ෂූන් වහන්සේලා භාවනානුයෝගීව වැඩ සිටින බැවින් මෙහි යාම එතරම් සුදුසු නොවේ. යාමට ඇති මාර්ගය වැටී ඇත්තේ කැලයක් මැදින් වන අතර තැන තැන ඇති ගල් සහ කොටන් ආදිය මැදින් වැටී ඇති මාර්ගයක් ඔස්සේ මෙහි ගමන් කළ යුතු වේ. මෙහිදී විනාඩි තිහක පමණ ගමනකින් පසුව ලෙන මුදුනට ළ`ගා විය හැක. තැනින් තැන වැසි ජලය එකතු වී කුඩා පොකුණු මෙන් තැනී ඇති අතර ඒවායේ ඇති ජලය කුඩා ජල පහරවල් තැනී පහළට ගලා ඒ. එතැන් සිට බැලූ විට ඒ අවට ඉතාමත් මනස්කාන්ත දර්ශනයක් මවමින් දර්ශනය වන අතර ඈතින් ගම්මානද ඊටත් එපිටින් මහා මාර්ගයද දිස්වේ.

එතැන ම`ද වේලාවක් ගත කළ අප නැවතත් පහළට බැසීමට ආරම්භ කළේ වෙසක් මස මහ වැසි ඇද හැලීමට අහස ගිගුරුම් දීම ඇරඹුණු බැවිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *