ආයෙත් ජාතික ආණ්ඩුවක් හදනවද නැද්ද

Sharing is caring!

පසුගිය සතියේ සෙනසුරාදා මධුමාධව අරවින්දගේ විවාහ මංගල්‍ය පැවැත්වුණේ ‍ගංගාරාම විහාරස්ථානයේදීය. විවාහයට සාක්ෂිකරුවන් ලෙස අත්සන් තැබුවේ මහින්ද සහ ගෝඨාභයය.අනතුරුව ගෝඨා, මහින්ද, ප්‍රසන්න සහ ගම්මන්පිල ඇතුළු පිරිස කතාබහ කරමින් සිටියේ ජාතික ආණ්ඩු යෝජනාව සම්බන්ධයෙනි.

“මොකක්ද සර් අර ආයෙමත් ජාතික ආණ්ඩුවක් ගැන කතා වෙන්නේ? ප්‍රසන්න ඇසුවේ මහින්දගෙනි.

“මමත් දැක්කා එහෙම කතාවක්. හැබැයි මම හිතන්නේ නැහැ නිදහස් පක්ෂය ඒ වගේ වැඩක් කරයි කියලා” මහින්ද පැවසීය.
“එහෙම නො‍කළොත් හොඳයි. නැත්නම් ඉතින් මේ පාර නම් නිදහස් පක්ෂය ඉවරටම ඉවරයි. එක පාරක් ජාතික ආණ්ඩු අටවා ගන්න ගිහින් වෙච්ච දේවල් මතක ඇතිනේ” ප්‍රසන්න කීවේය.

“අපි බලමුකෝ. එයාලා ඉතින් ගන්න තීන්දුවලට අපිට මුකුත් කියන්න බැහැනේ. අපි අපේ වැඩේ කරගෙන යමු” මහින්ද පැවසීය.
අනතුරුව මහින්ද, ප්‍රසන්න, ගෝඨාභය සහ ගම්මන්පිල වෙනම කතාබහ කරමින් සිටි අතර එහිදී සාකච්ඡා වූ දේ මාධ්‍යට හෙළිකෙරුණේ නැත.

පසුගිය අඟහරුවාදා මහින්ද පාර්ලිමේන්තුවට යන විට පිවිසුම අසළ දී වීරකුමාර මුණගැසුණේය. “කොහොමද වීරකුමාර? මහින්ද ඇසුවේය. “ඉන්නවා සර්. වරදක් නැහැ“ කී වීරකුමාර සමඟ මහින්ද සුළු වේලාවක් කතාබහක නියැළුනේය.
“මොකක්ද සර් ආයෙමත් මේ ජාතික ආණ්ඩු කතාවක් යන්නේ? වීරකුමාර ඇසුවේය.

“ඒක තමයි මගෙනුත් ගොඩක් අය කතා කරලා අහනවා. අදත් කෝල් හතර පහක්ම ආවා. දැන් කෙනෙක් කෝල් කරලා අහනවා ඒ කතාව ඇත්ත නේද, රනිල් මෛත්‍රී එක්ක එක කාර් එකේ නැගලා යනවා දැක්කා කියලා. ඒ දෙන්නට එක කාර් එකක යන්න බැරිද කියලා මමත් විහිලුවට ඇහුවා“ මහින්ද පිළිතුරු දුන්නේය.

එදින සවස මහින්ද හමුවීමට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට විජිත් විජයමුණි පැමිණ සිටියේ බිරිය සහ පුත්‍රයා ද සමඟය. ඔහු පැමිණ සිටියේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යයට මහින්දට ආරාධනා කිරීමටය. “මෙයාගේ වැඩකට ඉතින් නොගිහින් කොහමද ? යැයි විහිලු කරමින් මහින්ද ආරාධනාව භාර ගත්තේය.

බදාදා සවස 4ට පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසය දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පිරිසක් මහින්ද හමුවීමට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයට පැමිණියේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් කතාබහ කිරිමටය. 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කළ දයාසිරි, තිලංග, ලක්ෂ්මන් වසන්ත සහ ඩිලාන් මෙම හමුවට සහභාගී නොවුවත් සුසිල්, අනුර යාපා, ලක්ෂ්මන් යාපා, ජොන් සෙනෙවිරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සමඟ එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද අලුත්ගමගේ සහ දෙමළ ජාතික සන්ධානයේ වියලේන්ද්‍රන් ද මෙම අවස්ථාවට එක් වූහ.
“කොහොමද මේ කට්ටියගේ තොරතුරු? මහින්ද ඇසුවේය.

“වරදක් නැහැ. අපි වැඩ කරගෙන යනවා“ සුසිල් පිළිතුරු දුන්නේය. අනතුරුව ජාතික ආණ්ඩුව සම්බන්ධ කතාබහ ඇදී ආවේය.
“මම නම් හිතන්නේ නැහැ ජාතික ආන්ඩුවක් හදයි කියලා“ මහින්ද තමන්ගේ අදහස පැවසීය.
“අපි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන එකතු වෙලා වැඩ කරන්න ඕනේ. විශේෂයෙන් මේ ආණ්ඩුව පරාජය කිරීමේ වැඩපිළිවෙළට අපි එකතු වෙලා මුහුණ දෙන්න ඕනේ“ සුසිල් පැවසීය.

අනතුරුව මෙම පිරිස දිස්ත්‍රික් මට්ටමින් සහ ග්‍රාමීය මට්ටමින් දේශපාලන කටයුතුවල නියැලීමේ දී මුහුණ පාන්නට සිදුව ඇති දුෂ්කරතා සම්බන්ධයෙන් මහින්ද දැනුවත් කළහ.

“අපේ එකම අරමුණ මේ ආණ්ඩුව ගෙදර යවන එකයි. මොන බාධක ආවත් අපි එකමුතුව කටයුතු කරන්න ඕනේ. ඒ නිසා විපක්ෂයේ නියෝජිතයන් විදියට අපි ජනතාව වෙනුවෙන් අපේ යුතුකම ඉටු කරමු. තමුන්නාන්සේලාට තියෙන ඕනෙම ගැටලුවක් මට ඇවිත් කියන්න. මම ඒවට පිළියම් යොදන්නම්“ මහින්ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *