ආයෙත් මොකක් හරි අවාසනාවන්ත දෙයක් වෙයි කියලා

0
14

සුසිල්, මහින්දානන්ද, පවිත්‍රා, ප්‍රසන්න, ෂෙහාන්, සනත්, පියල් ඇතුළු පිරිසක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී මහින්ද සමඟ කතාබහ කරමින් සිටියේ විදුලි කප්පාදුව ගැනය. මන්ත්‍රීවරුන්ගේ අදහස වූයේ විදුලිය කප්පාදු කිරීමට හේතු වී ඇත්තේ ආණ්ඩුවේ නොහැකියාව නිසා බවය.

“විදුලි කප්පාදු හින්දා ආණ්ඩුව ඇදගෙන නානවා” සනත් කතාවට මුල පිරුවේය. “ආණ්ඩුවක් වුණාම ප්‍රතිපත්තියක්, ඉදිරි දැක්මක් තියෙන්න ඕනේ. විදුලියට විතරක් නෙමෙයි අධ්‍යාපනයට, සෞඛ්‍යට, ප්‍රවාහනයට වගේ සෑම ක්ෂේත්‍රයකම අනාගතය ගැන හිතලයි ආණ්ඩු සැලසුම් සකස් කරන්න ඕනේ. අපි වැඩ කළේ එහෙමයි. නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ වගේ බලාගාර හදන එක හැම ආණ්ඩුවක්ම කල් දදා හිටියේ. හැබැයි අපි ඒවා පටන් අරගෙන ජනතා අයිතියට පත් කළා. ඒ නිසා තමයි රටේ ජනතාවගෙන් සියයට සියයකට විදුලිය දෙන්න අපිට හැකි වු‍ණේ.

මේ ආණ්ඩුව මොකක්ද කරන්නේ? අපි හදපුවා අපිටම බැන බැන විවෘත කරන එක. එහෙමත් නැත්තනම් විකුණලා දාන එක. මෙහෙම කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපට නම් තේරෙන්නේ නැහැ” මහින්ද පැහැදිලි කළේය.
“ඒක නම් ඇත්ත සර්. මේ ආණ්ඩුවට කිසිම දැක්මක් නැහැ. ළමයි ඉගෙන ගන්න ඩෙස්ක් බංකු නැතුව ඉද්දි ටැබ් දෙන්න යනවා. උපාධිධාරීන්ට රැකියා නැතුව ඉන්න කොට ෆ්‍රී වයිෆයි දෙන්න කතා කරනවා. ආණ්ඩුව කළොත් කරන්නේ ඔය වැගේ සැලැස්මක් නැති වැඩ තමයි” ප්‍රසන්න කීවේය.

“සර් කිව්වා වගේ කලින් තිබ්බ ආණ්ඩු නොරොච්චෝලේ, ඉහළ කොත්මලේ ව්‍යාපෘති කරන එක නතර කරලා තිබුණේ මිනිස්සු‍න්ගේ විරෝධය නිසයි. අපි ජනතා විරෝධය සමනය කරගෙන ඒ ව්‍යාපෘති අවසන් කරපු නිසයි සර්ගේ අවුරුදු දහයක පාලන කාලයේ විදුලිය අඛණ්ඩව දෙන්න හැකි වුණේ” සුසිල් පැවසීය.

“අපිට මතකයිනේ කරුවල ජයසූරිය ඇවිත් රටම කලුවර කරපු හැටි. එදා කරුවල ජයසූරිය, දැන් රවී කරුවලනායක. දෙන්නම එකයි” පියල් කීවේය.

“දැන් බලන්න රවි කරුණානායක මුදල් ඇමැති වුණා විතරයි මහ බැංකුව හිස් කළා. කලින් වතාවේ වෙළෙඳ ඇමැති වෙලා සතොස හිස් කළා. දැන් විදුලි බල මණ්ඩලයට ෂොට් එක දුන්නා. මේ මනුස්සයා යන යන තැන විනාශයි” ප්‍රසන්න පැවසීය.
“මහ බැංකුව කොල්ල කාපු එකාටම විදුලි බල මණ්ඩලය ලැබෙන‍ කොටම අපි හිතුවා ආයෙත් මොකක් හරි අවාසනාවන්ත දෙයක් වෙයි කියලා” මහින්දානන්ද කීවේය.

“දැන්වත් හරියට සැලසුමක් ඇතිව වැඩ නොකළොත් අපිට සිද්ධ වෙන්නේ පැය 24ම කරුවලේ ඉන්නයි. හැබැයි මේ අයට විදුලි අර්බුදයෙන් ගොඩයන්න සැලසුමක් නැහැ වගෙයි” පවිත්‍රා කීවාය.

“මොන සැලසුම්ද. මේක තනිකරම එදාවේල ටුවර්ස් ආණ්ඩුවක්. විදුලි කප්පාදුව පිටිපස්සේ වැස්ස නැති එක විතරක් නෙමෙයි ටෙන්ඩර් මගඩි, අතයට ගැහිලිත් තියෙනවා කියලයි ආරංචිය” ප්‍රසන්න හෙළි කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here