ආරක්ෂක ඇමැති කරේ තියාගෙන දුවලා කොටින්ගෙන් බේරපු රොහාන්

හිටපු යුද හමුදාපති රොහාන් දලුවත්ත අපූරු නායකත්ව ලකුණු තිබුණු නිලධරයෙකි. තමන්ගේ කණ්ඩායමේ කිසිවකු අනතුරකට පත් වූ විට මුළු වීරියම යොදා ඔහු බේරා ගැනීමේ උතුම් ගුණාංගය එදා පාසල් දරුවකු වශයෙන් අපට පෙන්වා දුන් රොහාන් දලුවත්ත තම වැඩිහිටි ජීවිතයේදීත් ආදර්ශවත් නායකයකු විය. අනතුරට පත් තම සගයන් බේරා ගැනීමේ මෙහෙයුම්වල මූලිකත්වය ගත් වීරයකු විය.

ඒ සිදු වූයේ 1996 දෙසැම්බර් මාසයේ 07දාය. එවකට ආරක්‍ෂක ලේකම් පදවිය දැරූ අනුරුද්ධ රත්වත්තේ ඇමැතිතුමා ඇතුළු ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරීන් රැසක් කොළඹ සිට වැලිඔය දක්වා ගමන් කරමින් සිටියහ. අවාසනාවකට ගුවන් නියමුවාට පාර වැරැදිණි. ගුවනේ පැය දෙකක් කරණම් ගැසූ හෙලිකොප්ටරයේ ඉන්ධන ඉවර වීමට ඔන්න මෙන්න කියා තිබියදී අෑතින් පෙනුණු එළවළු කොරටුවකට හෙලිකොප්ටරය ගොඩබැස්වීම නිසා ඇමැතිතුමා හා නිලධාරීන්ගේ පණ ප්‍රථම වතාවට බේරිණි. නමුත් ඔවුන් ගොඩ බැස තිබුණේ රුදුරු කොටින් විසින් පාලනය කරමින් තිබුණු ප්‍රදේශයේ කිඩච්චුරු නමැති ගමටය. එතැන් සිට ශ්‍රී ලංකා හමුදා පාලන ප්‍රදේශයට යෑමට නම් මහ ගන කැලෑව මැද කිලෝමීටර් 12ක් යායුතු විය. ඔවුන්ගේ අවාසනාවට ඔවුන් අතර තිබූ ගුවන් විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍ර සියල්ලම සිග්නල් නොමැතිව අක්‍රිය වී තිබිණි.

අනුරුද්ධ රත්වත්තේ මහතා සමඟ ගමන් කළ පිරිස අතර වන්නි දිස්ත්‍රික්කයේ මන්ත්‍රි ප්‍රේමරත්න සුමතිපාල, පොලිස්පති රාජගුරු ඇතුළු ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් සිටියහ. රොහාන් ද දලුවත්ත හමුදා නිලධාරියාද ඒ අතර විය.

”සර් අපි තව විනාඩි දහයක් මෙතැන හිටියොත් කොටි අපිව අල්ලා ගන්නවා නියතයි. අපි පුළුවන් ඉක්මනට කැලේ මැද්දෙන් දුවමු” කියූ රොහාන් ඇමැතිතුමාගේ අතින් අල්ලාගෙන ගමන පටන් ගත්තේය. සැතපුම් දෙකක් පමණ කැලය තුළට යද්දී ඔවුනට මහා පිපිරුම් හඬක් ඇසිණි. ඒ අනතුර සිදුවූ තැනට පැමිණ සිටි කොටින් ගුවන් නියමුවා විසින් කෑලි ගලවා අක්‍රිය කරන ලද හෙලිකොප්ටරය පුපුරවන සද්දයි.

කකුලේ ආබාධයක් නිසා හැරමිටියෙන් අඩිය තිබූ ආරක්‍ෂක ඇමැතිතුමාට හයියෙන් තියා හෙමිහිටවත් ගමන් කිරීම අසීරු විය. ඉඊජ් කමාන්ඩර් අනිල් ප්‍රියන්තගේ අතේ තිබූ මාලිමා යන්ත්‍රය අඩංගු ඔරලෝසුවේ පිහිටෙන් නිවැරැදි දිසාව සොයා ගනිමින් රොහාන් දළුවත්ත ජීවිතය පරදුවට තබා යන මේ ගමනට නායකත්වය දුන්නේය.

”කොටින් අපි පස්සෙන් හඹාගෙන එනවා මෙහෙම ගියොත් අපට මරණය ඒකාන්තයි” කියමින් ඔහු ආරක්ෂක ඇමැතිතුමා උස්සාගෙන සැතපුමක් පමණ දුවගෙන ගියේය. ඔහුට හති වැටුණු විට තවත් නිලධාරියකු අතට ඇමැතිතුමා මාරු විණි. මෙසේ ඇමැතිතුමා මාරුවෙන් මාරුවට උස්සාගෙන යමින් ඔවුහු පණ බේරාගැනීම සඳහා අතිශය දුෂ්කර ගමනක යෙදිණි.

පැයකට අධික කාලයක් තිස්සේ කැලේ අස්සේ අතිශයින් දුෂ්කර ගමනක යෙදුණු පසු ආරක්‍ෂක නිලධාරි මානගේගේ සංඥා උපකරණ නැවත ක්‍රියා කරන්නට විය. රොහාන් දලුවත්ත වහාම තමන් සිටින දිසාව හමුදා මූලස්ථානයට දැනුම් දුනි.

ඉන්පසු වවුනියාවෙන් අහසට නංවන ලද හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ඉක්මනින්ම මෙම පිරිස සිටින තැනට ගොඩබා ඔවුන් කොටි ග්‍රහණයෙන් බේරා ගැනිණි. ඇමැතිතුමා හා පිරිස බේරා ගැනීමේ මෙහෙයුම පැය හයක් තිස්සේ නැරඹූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය සතුටු කඳුළු හෙළුවේ ඉන් අනතුරුවය.

එදා ආරක්‍ෂක ඇමැතිතුමාට හැරමිටිය බිම ගසමින් හෙමිහිට කැලේ මැද්දෙන් යන්ට සිදු වූවා නම් මේ ඉහළම ආරක්‍ෂක නිලධාරීන් සියලුදෙනාම කොටින් විසින් සමූල ඝාතනය කරනවා නොඅනුමානය.

රොහාන් දලුවත්ත ශාන්ත තෝමස් විදුහලේ අතිදක්‍ෂ මලල ක්‍රීඩකයකු හා පසුව ප්‍රසිද්ධ වතු පාලකයකු වූ අම්බලන්ගොඩ ඩී.එච්. පොලිස් ද සිල්වා මහතා හා වැලිගම ලීලා සෝමරත්න මැතිනියගේ බාලම පුත්‍රයා විය. 1941 මැයි 09දා උපත ලැබූ රොහාන් ධර්මපාල විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 1950දී නේවාසික සිසුවකු වශයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළු විය.

සාමාන්‍යයෙන් සිසුවකු දස්කම් අතින් ඉහළට යන්නේ තමන් තෝරා ගත් ක්‍රීඩා දෙක තුනකින් පමණි. නමුත් එකිනෙකට අතිශයින් වෙනස් ක්‍රීඩා පහ හයකින් විශිෂ්ට දස්කම් දැක්වූ ආනන්දියන් කිහිපදෙනකු ආනන්ද බෝඩිමේ අප අතර සිටියේය. වසන්ත කරන්නාගොඩ (නාවික හමුදාපති) ආනන්ද පීරිස් (අද්මිරාල්) හා සුනිල් විමලවංශ (මහාචාර්ය වෛද්‍ය) ඉන් මුල් තැන සිටියහ. නමුත් රොහාන් දළුවත්ත තරම් ක්‍රීඩා හා බාහිර අංශවලින් දස්කම් පෙන්වූ කිසිවකු ආනන්ද විදුහලේ තබා එවකට ශ්‍රී ලංකාවේ කිසිම විදුහලක සිටියේද යන්න සැක සහිතය.

රොහාන් දළුවත්ත 1957 සිට 1960 දක්වා ආනන්ද විදුහලේ බැඩ්මින්ටන් පිලේ නායකයා විය. අන්තර් විද්‍යාලයීය ටෙනිස් තරගවලදී ආනන්දය නියෝජනය කළ රොහාන් දක්‍ෂ හොකී හා පාපන්දු ක්‍රීඩකයකු ද විය. ආනන්දයේ පැසි පන්දු කණ්ඩායමේ නායකත්වය දැරූ මෙම අතිදක්‍ෂ බෝඩිම්කාරයා 1960 ආනන්ද ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින්නා මෙන්ම දක්ෂ පිතිකරුවකුද විය. රොහාන් දළුවත්ත 1959දී අනෙකුත් සියලුම පාසල් පරදවා ටැල්බට් කුසලානය දිනා ගත් ආනන්ද මලල ක්‍රීඩා කණ්ඩායමේද ප්‍රබල ක්‍රීඩකයකු විය.

ආනන්දයේ යාර 220 දුර පැනීම, තුන්පිම්ම හා උස පැනීමෙන් වාර්තා පිහිටු වූ දලුවත්ත සිසුවා ක්‍රීඩා හතරකටම විද්‍යාල වර්ණ දිනා තවත් වාර්තාවක් පිහිටු වීය.

60 දශකයේ ආනන්දයේ ක්‍රීඩා භාර ආචාර්යතුමා වූ ම්.ඹ්.ජ් විජේදාස මහතා රොහාන් දළුවත්ත ගැන මෙසේ කියයි. ”මගේ ජීවිත කාලයේ මා දුටු හොඳම ඒතත පධභදඤඥප රොහාන් දළුවත්තයි. ඒ දවස්වල අපිට තිබුණු අමාරුම වැඩේ තමයි රොහාන් සහභාගි නොවන ක්‍රීඩාව මොකක්ද කියලා හොයා ගන්න එක. මුළු ආනන්දයම ඔහුට හරි ආදරෙන් හිටියේ. අපේ නේවාසිකාගාර පරිපාලකතුමා රාජපක්‍ෂ සර් (පසුව විදුහල්පති) තේරුම් ගත්තා රොහාන් රටේ ඉහළම තැනකට යන බව. එතුමාගේ උපදෙස් හා ඉල්ලීම අනුව තමයි 1961දී රොහාන් යුද හමුදාවට බැඳුණේ. එදා රාජපක්‍ෂ සර් හිතුවා හරියටම හරි. හමුදාවේ නිලයෙන් නිලයට ඉහළට ගිය රොහාන් ඊට අවුරුදු 38කට පස්සේ ශ්‍රී ලංකාවේ යුද හමුදාපති වුණ දා ඔහුගේ ගුරුවරයා වශයෙන් මට ඇති වුණු ප්‍රීතිය අනන්තයි අප්‍රමාණයි.”

ආනන්ද විදුහලෙන් බිහිවුණු හමුදාපතිවරු පස්දෙනාගෙන් දෙවැනියා වූයේ රොහාන්ය. හමුදාවේ උත්තම සේවා, විශිෂ්ට සේවා විභූෂණ, රණශූර හා රණ වික්‍රම වැනි ඉහළම පෙළේ පදක්කම් ඇතුළු ඇගයීම් පදක්කම් 14ක් දිනා ගනිමින් වාර්තාවක් පිහිටුවා ඉන් නොනැවතුණු මේ විශිෂ්ට හමුදා නිලධාරියා රිවිරැස 1 හා රිවිරැස 2 යාපනය අල්ලා ගැනීමේ මෙහෙයුම්වලදී පෙන්වූ නිර්භීත දස්කම් නිසාම යුද හමුදාවේ දෙවැනි ඉහළතම පදක්කම වූ වීර වික්‍රම විභූෂණ පදක්කම ද 1998දී හිමිකර ගත්තේය.

යාපනය බේරා ගැනීමේ ජයග්‍රාහී රිවිරැස සටන මෙහෙයවා ඊළාම් යුද්ධය දිනා ගැනීමේ සටනට අත්තිවාරම් දැමූ රොහාන් දළුවත්ත වීරෝදාර සෙන්පතියා ජනතාවගේ ගෞරව මැද්දේ 1998 දෙසැම්බර් 15දා විශ්‍රාම ලැබීය. ඉන්පසු වසර තුනක් තිස්සේ ත්‍රිවිධ හමුදාවේ ආරක්‍ෂක කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් රට වෙනුවෙන් අගනා සේවය ඉටු කළේය.

2002 සිට 2005 දක්වා බ්‍රසීලයේ තානාපති වශයෙන් වැඩ කරමින් රටවල් දෙක අතර වෙළෙඳ සම්බන්ධතා වර්ධනය කර ගැනීමට සමත් වූ රොහාන් දළුවත්ත ඉන්පසු මැණික් සංස්ථාවේ සභාපති පදවියද කොතලාවල සරසවියේ කුලපති පදවියද දැරුවේය.
ආනන්දයේ ඉගෙනගත් මේජර් ජෙනරාල් මල්ලවආරච්චි ජෙනරාල් රොහාන් දළුවත්ත ගැන මෙසේද කියයි.

”ජෙනරාල් දලුවත්ත යටතේ මම රිවිරැස ඇතුළු ක්‍රියාන්විත මෙහෙයුම් දහයකට විතර සහභාගි වුණා. ඉතා ළඟින් ඇසුරු කළ නිලධාරියකු හැටියට මට කියන්න පුළුවන් එතුමා නිල බලයෙන් පදවියෙන් අහංකාර නොවුණු හමුදාපතිවරයෙක් වූ බව. යුද පිටියේදී ඔහු සාමාන්‍ය සෙබළුන් සමඟ ඔවුන්ගේ බත්පත බෙදා ගෙන කමින් ඔවුන්ගේ දුක සැප බලමින් ඔවුන් දිරිමත් කළා. ඔවුන්ට කරුණාවෙන් සැලකුවා. හැම හමුදාපතිවරයෙක්ම එහෙම නැහැ. රිවිරැස මෙහෙයුම සාර්ථකව සම්පූර්ණ කරමින් අපට යාපනය අල්ලා ගැනීමට ලැබුණේ. දලුවත්ත ජෙනරාල්තුමා තුළ තිබුණු මේ විශිෂ්ට ගුණ නිසාම ඔහු හමුදාවේ ජනප්‍රිය චරිතයක් වුණා. එතුමාගේ වියෝව මටත් තදබල කනගාටුවක්.”

අකාලයේ අප හැර ගිය විශිෂ්ට ආනන්දියයා, ශ්‍රේෂ්ඨ හමුදා නිලධාරියා හා අග්‍රගණ්‍යයේ ශ්‍රී ලංකා පුරවැසියාට මා මෙසේ කියමි.

– දෙව්සිරි පී. හේවාවිදාන
(මව්බිම)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *