කුණු කොල්ලෙට යන වට්ටක්කාවල ගුණ මෙන්න

වට්ටක්කා ආහාරයට ගැනෙන්නේ හුදු ගෙඩි වශයෙන් පමණක් නොවේ. එහි දලු, මල්, ගෙඩි, ඇට ආදී සියලු දෑ ආහාර පිණිස මෙන්ම ඖෂධ පිණිසද ගනු ලැබේ. වට්ටක්කා අතීතයේ සිට අපේ රටේ අවමඟුල් ගෙවල්වල මළබතට පිසෙන සුවිශේෂ ආහාරයකි. එයට හේතු වන්නට ඇත්තේ මෙහි ඇති සුවිශේෂ ගුණය. අවමඟුල් ගෙදරක සිටිනුයේ ශෝකයෙන් පීඩිතව හෙම්බත්ව සිටින පිරිසකි. ඔවුනගේ ශරීරයේ ශක්තිය ඇති කරනු වස් එදා අපගේ ගැමියෝ වට්ටක්කා ආහාරයට දුන්හ.

කුඩා දරුවාගේ ‍පෝෂණීය ආහාරවේලට එක්කර ගත හැකි ප්‍රධාන භෝගයක් ලෙසද වට්ටක්කා පිළිගත හැකිය. එයට හේතුව එහි පිෂ්ටය, ‍ප්‍රෝටීන්, ඛනිජලවණ, විටමින් වර්ග බොහෝමයක් අන්තර්ගතව තිබිමය. අප රටේ ජනයා වට්ටක්කා විවිධාකාරයෙන් ආහාරයට ගත්හ. ඒ කෙසේ වෙතත් වට්ටක්කා ආහාරය අපට බොහෝ ගුණදායක බව නම් කිව යුතුය.

හේන් ගොවිතැන් කළ අපේ පැරැන්නන්ගේ ප්‍රධාන ආහාරවේලක් වූයේ වට්ටක්කාය. වට්ටක්කා තම්බා ආහාරයට ගැනීම මෙන්ම ඒවායෙන් විවිධ ව්‍යාංජන වර්ග සැකසීමද සිදුවිය. ශරීර ශක්තිය අඩු, බරෙන් අඩු දරුවන්ට එදා අම්මලා හේන් වට්ටක්කා තම්බා ආහාර පිණිස දුන්හ. එසේත් නැත්නම් වට්ටක්කා සිහින්ව පෙති කපා වියළා පිටි කොට ඉන් විවිධ කැවිලි වර්ග සකසා දුන්හ. මේ නිසාම දරුවා රෝගවලින් ආරක්ෂා විය. තවද නිතර හඬන දරුවන්ගේ හදවත ශක්තිමත් කිරීමටද වට්ටක්කා මහඟු ආහාරයක් විය. වට්ටක්කා ආහාරයට ගැනීමෙන් දරුවන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය දියුණු වන බව අපගේ පැරැන්නෝ දැන සිටියහ. ඒ වග එහි අන්තර්ගත විටමින් හා ඛනිජ වර්ග පිළිබඳව විශ්‍ලේෂණයේදී අවබෝධ කරගත හැකිය. වට්ටක්කාවල ඉතා බහුලව තන්තු අඩංගු වන නිසා මලබද්ධයද දුරුවෙයි.

තවද ආන්ත්‍රික පිළිකා වැලඳීමේ අවදානම අඩුවෙයි. අපගේ රුධිර සංඝටකයන් අතර සුදු රුධිරානු වෙනස් වීම පාලනය කිරීමට වට්ටක්කාවලට හැකියාවක් ඇති බව නූතන විද්‍යාඥයෝද පවසති. විශේෂයෙන් පිළිකා සෑදීමේ අවදානමද අඩු කිරීමට වට්ටක්කාවලට හැකියාව ඇත. අධික තරබාරු අයට තරබාරුව අඩුකර ගැනීමටද ඉතාමත් හොඳ ආහාරයකි. වට්ටක්කා ආහාරයට ගැනීමෙන් ඇස්වල පෙනීම දියුණු වන අතර සමද පැහැපත් වේ. එහෙයින් සම පැහැපත් කරගැනීමට නොයෙක් කෘත්‍රිම ආ‍ලේපන පාවිච්චි කරනවා වෙනුවට වට්ටක්කා ආහාරයට ගැනීමෙන් සමට පමණක් නොව සමස්ත ශරීරයටම මහඟු ප්‍රතිලාභ උදාකරගත හැකි වේ. වට්ටක්කාවල තවත් සුවිශේෂ ගුණයක් වනුයේ ස්නායු පද්ධතිය ශක්තිමත් කර ඒ ආශ්‍රිතව හටගන්නා රෝගවලින් අප මුදවාලීමේ ඇති සමත්කමයි.

මෙහි ඇති සුවිශේෂ ගුණයක් වනුයේ අපගේ හෘදය ශක්තිමත් කර හෘදයේ දුර්වලතා මගහැරීමයි. වට්ටක්කා ආහාරයට ගැනීමෙන් රුධිරගත මේදය මෙන්ම දියවැඩියාවද පාලනය කරගත හැකි වේ. අධිරුධිර පීඩනය ඇති අයට ඉතාමත් හොඳ ආහාරයකි. අධිරුධිර පීඩනය පාලනය කළ හැකි විශේෂ ඛනිජලවණයන් මෙහි අන්තර්ගතය. නිරන්තරයෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැනි බෝවන රෝගයන්ට ගොදුරු වන දරුවන් එම රෝගවලින් ආරක්ෂා කරගැනීමට නම් වට්ටක්කා තම්බා ආහාරයට දිය යුතු වේ.

එදා හේන් ගොවියා තම හේනේ වට්ටක්කා හොඳින් පැසුණු පසු එහි නටුව පෙදෙස රවුමට කපා ගෙඩිය ඇතුළත ඇට ඉවත් කර හෝ නොකර ගෙඩිය තුළට මිරිස් තුනපහ පුරවා නැවත කට වසා, කෙසෙල් කොළවලින් ඔතා පසුව ඒ වටා මැටි බැඳ හේනේ වළක් හාරා එහි දමා ටික දිනක් ගිය පසු ඒ මත ගිනි මැලයක් ගසා පසුව පිටතට ගෙන තම ආහාරවේලට එක්කර ගැනීමට පුරුදුව සිටියේය. එය බත්, අල, බතල මෙන් ඉතා රසවත් ප්‍රධාන පෙළේ ආහාරයක් විය. ඊට අමතරව වට්ටක්කා කිරට මෙන්ම මිරිසටද, කළු‍පොල් දමාද ව්‍යාංජන ආකාරයෙන් ආහාරයට ගැනීමට අපි පුරුදුව සිටිමු. වට්ටක්කා තම්බා ‍පොල් සමග ආහාරයට ගැනීමටද හැකියාව ඇත. එය හුදෙක් පාන්පිටිවලින් කරන ලද අහරකට වඩා වටිනාකමින් ඉහළය.

සිංහල අවුරුදු කාලයට වට්ටක්කා ගැන කියැවෙන්නේ රබන් පදයකිනි. ‘උඩ පලගත්තත් වට්ටක්කා, බිම පලගත්තත් වට්ටක්කා’ ලෙසිනි. නමුත් සිංහල අවුරුදු කාලයේදී සැකසෙන හත්මාළුවට වට්ටක්කා දලු අත්‍යවශ්‍යය. වට්ටක්කා දලු වෙනම ව්‍යාංජනයක් ලෙස හෝ මැල්ලුමක් ලෙස සකසාගත හැකිය. වට්ටක්කා දලු ආහාරයට ගත යුත්තේ දලු පවනේ තබා, පසුව එහි ඇති බූව කොටස වතුරින් සෝදාගත් පසුය. එවිට මැල්ලුම් සේම ව්‍යාංජන සේද සකසා ගත හැකිය.

ඒ ව්‍යාංජනයට කොස්ඇට කිහිපයක් තළා එකතු කරගැනීමෙන් එය වඩාත් රසවත් කරගැනීමට ගෘහණියන් දැන සිටියහ. වට්ටක්කා දලු ආහාරය මලබද්ධයෙන් මිදීමට ප්‍රත්‍යක්ෂ ඖෂධයක්ද වේ. තවද ‍ලේ පිටවන රක්ත අර්ශස් රෝගීන්ටද එය ගුණදායකය. දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම සමනය කිරීමටද ඉතාමත් හොඳ ආහාරයකි. දේශීය චිකිත්සාවේදී දියවැඩියා රෝගීන්ට ලබාදෙන ඖෂධවලට විශේෂයෙන් වට්ටක්කා දලුද එක්කර ගැනේ. තවද නිරන්තරයෙන් තුනටියේ වේදනාව ඇති අයට වට්ටක්කා දලු අහරින් එම වේදනාව සමනය කරගත හැකි වේ. නමුත් වට්ටක්කා දලු අයෝග්‍ය පිරිසක්ද සිටිති. ඒ අය නම් ගැබිනි මව්වරුය. ගැබිනි සමයේ මුල් මාස පහ හෝ හය තුළ මෙවැනි ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතු වේ. වට්ටක්කා දලු මෙන්ම මල්ද රසවත් ආහාරයකි. එය ව්‍යංජන ලෙසද, කිරි හොද්දක් ලෙසද සකසාගත හැකිය. විශේෂයෙන් මලබද්ධය ඇති අයට එය ඉතාමත් ගුණදායකය.

අප වට්ටක්කා පිස ගන්නා විට කරන විට එහි ඇති ඇට සියල්ල ඉවත දමනවා. නමුත් ඒවායෙහි අැති පෝෂ්‍යදායිභාවය ගැන ඇසුවොත් ඔබ ආයෙත් වට්ටක්කා ඇට ඉවත දමන එකක් නම් නැහැ. වට්ටක්කා ඇට මගින් ශරීරයේ අභ්‍යන්තරයට සිදුකරන සෞඛ්‍යමය වාසි රාශියක් තිබෙනවා. ඒවා වලින් විශේෂ කරුණු කිහිපයක් අද අප ඔබට ගෙන එනවා.

ප්‍රෝටීන් බහුලව අඩංගු වීම

වට්ටක්කා ඇට මගින් ශරීරයට ලැබෙන ප්‍රෝටීන් මස් මාංශ වලින් ලැබෙන ප්‍රෝටීන් වර්ග වලට වඩා වෙනස් උනත් සෞඛ්‍යය සම්පන්න බව එක හා සමාන වනවා. ඔබ නිර්මාංශි පුද්ගලයෙක් නම් ප්‍රෝටීන් ලබා ගැනීමට හැකි සාර්ථකම ක්‍රමය මෙයයි. එපමනක් නොවේ ශරීරයේ මේදය තැම්පත් වීමකින් තොරව සෞඛ්‍යය සම්පන්නව මේදය ලබාගැනීමටද මෙමගින් හැකියාව ලැබෙනවා.

ඇස් පෙනීම වර්ධනය කිරීම

අප ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරගැනීමට අවශ්‍ය වන සින්ක් වට්ටක්කා ඇට වල අඩංගු වනවා. ඒවගේම තන්තු, මැන්ගනීස්, පොස්පරස්, පොටෑසියම් සහ ප්‍රෝටීන් නිසා ඇස් පෙනීමද වර්ධනය කරනවා.

පිළිකා නැසීමේ ගුණයන්

මෑතකදී කරනු ලැබූ අධ්‍යයනයක් මගින් සොයාගෙන තිබෙන්නේ වට්ටක්කා ඇට වල පිළිකාව නැසීමේ බලයක් ඇති බවයි. එහි අන්තර්ගත වන සංයෝගයන් මගින් පිළිකා සෛල නැසීම සහ විවිධ පිළිකා ඇතිවීම මර්ධනය වන බව ඔවුන් වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

ආර්තවාභාවයේ පසුවන කාන්තාවන් වට්ටක්කා ඇට දිනපතා ආහාරයට ගැනීම මගින් පියයුරු පිළිකා ඇතිවීමේ අවධානම 23% දක්වා අවම කරගන්න පුළුවන්

පොටෑසියම් සමබර කිරීම

ඔබගේ ශරීරයේ අස්ථි වැහැරීම වැලැක්වීම, අධි රුධිර පීඩනය පාලනය කිරීම, වකුගඩු වල ගල් ඇතිවීම වැළකීම, මාශ පේශී ශක්තිමත් කිරීමට වට්ටක්කා ඇට කෝප්පයක් ආහාරයට ගැනීම මගින් හැකියාව ලැබෙනවා. එමගින් පොටෑසියම් ග්‍රෑම් 588 පමණ ශරීරයට ලැබෙනවා.

සුවබර නින්දක් සදහා

වට්ටක්කා ඇට වල ඇමයිනෝ අම්ලයක් වන ට්‍රේප්සොපැන් අම්ලය අන්තර්ගත වනවා. මෙමගින් සුවදායක නින්දකට අවශ්‍ය හෝමෝන නිසිලෙස නියාමනය කරනු ලබනවා. ඔබත් නින්ද නොයෑමෙන් පීඩා විඳිනවා නම් නින්දට යාමට පෙර වට්ටක්කා ඇට ස්වල්පයක් ආහාරයට ගන්න.

lankamediahub.com
ලංකා මීඩියා හබ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *