කොළඹ වාහන පාකින් කොම්පැනියක් මිනිස්සුන්ව මංකොල්ල කති – දිනක දඩය රු 1000යි

වැල්ලවත්ත ගාලු පාරේ රථ ගාල් කිරීම සඳහා වෙන් කළ ස්ථානයක සිය මෝටර් රථය ගාල් කර එහි ගාස්තුව ගෙවීමට අමතකව ආපසු පැමිණි දෙහිවල ප්‍රදේශයේ තැනැත්තෙකුට දින 13 කට පසු ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් 10120 ක දඩයක් ගෙවීමට සිදුවීමෙන් ඔහු දැඩි අපහසුතාවට ලක්ව තිබේ.

එම රථ ගාලෙහි වාහනය පැයක් නවතා තැබීම සඳහා රුපියල් 30ක මුදල් අය කරනු ලබන අතර එය වාහනය ගාල් කරනු ලබන පුද්ගලයා විසින්ම මුදල් ගෙවනු ලබන යන්ත්‍රයකට මුදල් ගෙවීම කළ යුතුව ඇත. එහෙත්
ඒ සම්බන්ධයෙන් නිසි දැනුවත් වීමක් නොමැති වීම නිසා සහ මුදල් අයකර ගැනීම සඳහා කිසිදු ආරක්ෂක නිලධාරියෙකු හෝ නොසිටි නිසා ඔහු නැවත නිවස බලා පැමිණ තිබේ.

ඉකුත් අප්‍රේල් 25 වැනිදා මෙම සිදුවීමට මුහුණ පෑ ඔහු දින කිහිපයකට පසු පුවත්පත් වාර්තාවකින් දැක ඇත්තේ අයිතිකරු විසින් යන්ත්‍රයකට මුදල් ගෙවා වාහනය නතර කර පැමිණෙන ස්ථානයක ඒ පිළිබඳව නොදැනුවත් කම නිසා මුදල් නොගෙවා පැමිණිමෙන් පසු දහස් ගණන් දඩ ගෙවීමට බොහෝ පිරිස් හට සිදු වී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මිතුරකුගෙන් විමසු විට ඔහුද එවැනි අකරතැබ්බයකට මුහුණ පෑමට සිදු වීමෙන් අපහසුතාවට පත්ව ඇති බව තොරතුරු අනාවරණය වී ඇත. අනතුරුව තමාටද ඉකුත් 25 වැනි දින සිදු වුයේ මෙවැනිම කරුණක්දැයි සැක සිති මේ සම්බන්ධව කරුණු සොයා තිබේ.

අදාල ආයතනයට දුරකතන ඇමැතුමක් ලබා දුන් පසු ඔවුන් පවසා ඇත්තේ මුදල් නොගෙවා ගියහොත් දඩ මුදල් ලෙස දිනකට රුපියල් 1080 ක් ගෙවිය යුතු බවයි. ඒ වන විටත් ඔහු දින 13 ක් ප්‍රමාද වීම හේතුවෙන් ප්‍රමාද ගාස්තු ලෙස දඩ මුදල් ලෙස 13,000 කට අධික මුදලක් ගෙවිය යුතු බව එම නිලධාරීන් දන්වා තිබේ. එතරම් මුදලක් තමාට ගෙවීමට නොහැකි බව පැවසු විට එසේනම් රුපියල් 10120 ක මුදලක් ගෙවන ලෙසත් එසේ නොමැති ඔහුට එරෙහිව නඩු පවරන බව ඔවුන් සඳහන් කළ බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක් වු ඔහු ඔහු තමන්ගේ අනන්‍යතාව හෙලි කිරීමට අකමැති විය.

‘ මේ සිද්ධිය වුණේ පහුගිය අප්‍රේල් 25 වෙනිදා. මගේ මව අසනීප වෙලා වැල්ලවත්තේ පෞද්ගලික රෝහලක නතර කරලා හිටියා. රෝහලේ රථගාලේ ඉඩ නොතිබුණු නිසා ඒ අසල ගාලුපාරේ ඉඩ තිබුණු පෞද්ගලික රථ ගාලක මං වාහනය නතර කළා. පැය දෙකක් විතර වාහනය එතැන තිබුණා. ආපසු එද්දි මගේ වාහනයේ ඉස්සරහා කොලයක් තියලා තියෙනවා මං දැක්කා. නමුත් ආරක්ෂක අංශයේ කිසිම කෙනෙක් හිටියෙත් නැහැ. හොදටම වැස්ස නිසා මම මගේ බිරිඳත් එක්ක වාහනෙන් ආපහු එන්න පිටත් වුණා.

ඇත්තටම වාහනේ ඉස්සරහ තිබුණ කොලේ මොකද්ද කියලා මං බැලුවේ නැහැ. වැස්සත් එකක් හොදටම තෙමිලා තිබුණේ. මං බිරිඳට කිව්වා ඒක එතනින් අයින් කරන්න කියලා. ඊට ටික දවසකට පස්සේ ෆේස් බුක් එකේ මගේ මිතුරෙක් දාලා තිබුණා පෞද්ගලික රථවාහන ගාලක වාහනය නතර කරලා පසුව දඩ ගෙවන්න වුණ සිදුවීමක් ගැන පුවත්පතක පළ වුණ වාර්තාවක්. ඒ මගේ යාලුවටත් ඒ සිදුවීම වෙලා තිබුණා. ඒ වෙලාවේ තමයි මට එදා සිදුවීම මතක් වුණේ. මම මේ සිදුවීම හොයන්න පටන් ගත්තේ මැයි 10 වෙනිදා.

පස්සේ යාලුවගෙන් ඇහුව විස්තර එක්ක මගේ ජංගම දුරකතනයෙන් ඇප් එකක් අරගෙන ඒ තිබුණු දුරකතන අංකයකට කතා කරලා විස්තර අහද්දි ඒ අය කිව්වා දින 13 ක් ප්‍රමාදයි. ඒනිසා රුපියල් 13,000 කට වැඩ් ගණනක් ගෙවන් ඕනි කියලා. ඒ තරම් සල්ලි ගෙවන්න නැහැ කිව්වම ඒ අය දවස් දෙක තුනක් එහෙ මෙහෙ කරලා දෙන්නම් කියලා 10120 මුදලක් ගෙවන්න නැත්නම් නඩු දානවා කිව්වා. ඇත්තටම මං ඒ වෙලාවේ ඒ දඩ මුදල ගෙවන්න ගියේ මගේ බිරිඳගේ නමට තමයි වාහනය තියෙන්නේ.එයාට ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන නිසා.

මේ වගේ අය කිරීම් කරද්දි මීට වඩා දැනුවත් කිරීමක් අවශ්‍ය වෙනවා. ඒ අයගේ අවම දඩය වෙන්නේ රුපියල් 50,000 ක් .ඒ ප්‍රමාද ගාස්තුව එකතු වෙනකල් මේ අය වාහන හිමියට මේ සම්බන්ධයෙන් දැනුම් දීමක් කරන්නේ නැහැ. ඒ නිසා තමයි ගොඩක් අයට මේ විදියේ අසාධාරණ වැඩ වෙන්නේ.

මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරනවානම් මෙවැනි දේවල් වෙන්නේ නැහැ. මම දඩ මුදල ගෙව්වා. නමුත් කොළඹ මහනගර සභාවට වගේම ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දුන්නා. තවමත් මේ සම්බන්ධයෙන් කිසිම පියවරක් අරගෙන නැහැ. අසාධාරණ විදියට මේ වගේ දේවල් කරන්න හොද නැහැ කියන එකයි මගේ අදහස. මේ පුදගලයින්ගේ අරමුණ වෙන්න මුදල් එකතු කිරීම විතරයි . නැත්නම් දවසකට ඇයි මේ තරම් ලොකු මුදලක් අය කරන්නේ. බලධාරීන් මේ වගේ ක්‍රියා ගැන මීට වඩා හොයලා බලනවානම් හොඳයි කියලා තමයි මගේ නම් අදහස.

 

වැඩි දුර හෙළිදරව් කිරීමක් බලාපොරොත්තු වන්න…

lankamediahub.com
ලංකා මීඩියා හබ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *