ගමේ බුලට් දිනවන ඡන්දෙට බැලට් එක එන්නේ මෙහෙමයි

මැතිවරණයට ඇත්තේ තවත් දින කිහිපයක් පමණකි. අපේක්ෂකයෝ තමන්ගේ ප‍්‍රචාරණ කටයුතු සුපුරුදු ලෙසම කරගෙන යති. ඡුන්දදායකයන්ට නම් මැතිවරණ උණුසුමක් හෝ එහෙම තත්ත්වයක්වත් තියේදැයි සැකයකි. මුළු මැතිවරණයම ඇල්මැරුණු ස්වභාවයකි.

ගමේ එහෙම වනවිට ඡුන්දයට ලක ලෑස්ති වන මැතිවරණය හා සම්බන්ධ රාජ්‍ය ආයතනත්, රාජ්‍ය නොවන ආයතනත් ලහිලහියේ පැවැත්වීමට නියමිත වැඩ රාජකාරී කටයුතු සිදුකරමින් සිටින්නේ ජනතාවගේ කැමැත්ත විමසා බැලීමේ අවශ්‍යතාවටත් වඩා කාලෙකින් තමන්ට එන රස්සාවෙන් වැඩියෙන් කීයක් හෝ උපයා ගැනීමේ අරමුණින්ම යැයි අප පවසන්නේ නැත. එහෙත් ඔවුන් අනෙක් දවස්වලට වඩා වැඩ කරති.

ඡුන්ද කාලෙට වැඩියෙන්ම වැඩ ඇත්තේ මැතිවරණ කොමිසමට හා මැතිවරණ ලේකම් කාර්යාලයටය. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතාගේ වචනවලින්ම කියනවා නම් දැන් දියවන්නාවේ තිබුණු පන්දුව පිටියට පැමිණ ඇත. බැට් කිරීමට පිතිකරුවන් රැුසකි. මෙවර පිතිකාරිනියන් ද බහුලය. ජනතාව ලකුණු දීමට බලා සිටිති. ඒ ලකුණු දීමට බලා සිටින ජනතාවට සාධාරණ හා අපක්ෂපාතී මැතිවරණයක් වෙනුවෙන් අවශ්‍ය වැඩ කටයුතු සැලැස්වීමයි.

කවුරු කෙසේ වැඩ රාජකාරි කළ ද මැතිවරණය පැවැත්වෙන දිනයේ ජනතාව කතිරය ගැසිය යුතුය. ඒ කතිරය ගසන්නට නම් ඡුන්ද පත‍්‍රිකාවක් තිබිය යුතුය. මැතිවරණයේදී වැදගත්ම දේ වන්නේ ඡුන්ද ඒ පත‍්‍රිකාවයි.

ලංකාවේ ඡුන්ද පත‍්‍රිකා මුද්‍රණය කිරීමේ බලය ඇත්තේ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට පමණි. එය කිසිසේත් පෞද්ගලික මුද්‍රණ ආයතනයක මුද්‍රණය නොවන්නේ ඒ තුළ ඇති රහස්‍යභාවය හා ආරක්ෂාව ප‍්‍රමුඛත්වයෙහිලා සලකන බැවිනි. ඡුන්දදායකයා මැතිවරණයට පෙර කිසි විටෙක මේ ඡුන්ද පත‍්‍රිකාව දකින්නේ නැත. එය දකින්නේ මුද්‍රණ ආයතනයේ අදාළ කටයුතු සිදු කරන නිලධාරීන් හා සේවකයන් පමණකි. එහෙයින් රහස් පිටතට නොයන්නට ඡුන්ද පති‍්‍රකා මුද්‍රණය වන කාල සීමාව තුළ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව තුළ විශේෂ ආරක්‍ෂාවක් යොදවා ඇත. පිටතින් බලන්නෙකුට එය නොපෙනුනත් ගේට්ටුවෙන් ඇතුළු වූ පසු එය මනාව දැක ගන්නට හැකිය.

ඡුන්ද පත‍්‍රිකා මුද්‍රණය කරනු ලබන්නේ විදේශ රටවලින් ගෙන්වනු ලබන විශේෂ කඩදාසි වර්ගයක් වන අතර එය හඳුන්වන්නේ සිකියුරිටි පේපර් නමිනි. ඡුන්ද පත‍්‍රිකා මුද්‍රණය සඳහාම පමණක් ගෙන්වනු ලබන මෙම කඩදාසි මීට පෙර ගෙන්වනු ලැබුවේ එංගලන්තයෙනි. එහෙත් මෙවර එය ගෙන්වා ඇත්තේ ඉන්දියාවෙන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. එයද 85ටිප වර්ගයේ කඩදාසියකි.

එසේ ගෙන්වනු ලබන කඩදාසි ඡුන්ද පත‍්‍රිකා ලෙස මුද්‍රණය කිරීම සිදු වන්නේ දැඩි ආරක්‍ෂක විධිවිධාන මධ්‍යයේය. ඒ සඳහා පොලිසියේ විශේෂ ආරක්ෂාවක් යොදාගන්නා අතර සමහර අවස්ථාවන්හිදී විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාවන් ද යොදා ගැනීමට ඔවුන් කටයුතු කරති. අවශ්‍ය කඩදාසි ප‍්‍රමාණය පමණක් මුද්‍රණය සඳහා ගබඩාවෙන් නිදහස් කරන අතර එතැන් සිට ඡුන්ද පත‍්‍රිකාව මැතිවරණ ලේකම් කාර්යාලයට භාරදීම දක්වා ක‍්‍රියාවලිය අතිශය රහස්‍ය අයුරින් සිදු වේ.

මුද්‍රණ දෙපාර්තමේන්තුව තුළ ඡුන්ද පත‍්‍රිකාව මුද්‍රණය වන අවස්ථාවේදී මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම පොලිසිය ද ම‍්‍රද්‍රණ යන්ත‍්‍ර අසල රැුඳී සිටින අතර ඡුන්ද පත‍්‍රිකා මුද්‍රණය වූ පසු ඒ සියල්ල පොත් බැඳීමේ අංශයට ලබා දෙනු ලබයි. එහිදී මුද්‍රණය කරන මොහොතේ එම ස්ථානයේ රැුඳී සිටි සියලූ දෙනාගේ අත්සන සහිතව එම ඡුන්ද පත‍්‍රිකා පොත් බැඳීමේ අංශයට ලබාදීම විශේෂත්වයකි. මුද්‍රණ අංශයේ සිට පොත් බැඳීමේ අංශයට ඇති දුර සහ ඊට ගතවන කාලය පිළිබඳව ද වැඩි සැලකිල්ලක් දක්වමින් මුද්‍රණය අවසන් කළ වේලාව මෙන්ම එය පොත් බැඳීමේ අංශයට භාර දුන් වේලාව ද එහිදී සටහන් කළ යුතුය. යම් හෙයකින් අදාළ වේලා අතර පරතරය වැඩි නම් ඒ පිළිබඳව පරීක්ෂා කිරීමට අවසර ඇත.

පොත් බැඳීමේ අංශයේදී සිදුවන්නේ අදාළ ඡුන්ද පත‍්‍රිකා මැතිවරණ ප‍්‍රදේශ අනුව වර්ග කිරීමයි. එසේ වන්නේ ජාතික මැතිවරණයකදී මෙන් නොව පළාත් පාලන මැතිවරණයකදී ඒ ඒ ප‍්‍රදේශ සඳහා තරග කරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් විවිධ විය හැකි බැවිනි. එනයින් මෙවර මැතිවරණය සඳහා එකිනෙකට වෙනස් ඡුන්ද පත‍්‍රිකා විශාල ප‍්‍රමාණයක් මුද්‍රණය කිරීමට සිදුව ඇත. මෙවර ඡුන්ද පත‍්‍රිකාවේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මනාප අංක නොමැති වීමයි. ඒ නිසාම වෙනත් මැතිවරණවලට වඩා මෙවර ඡුන්ද පත‍්‍රිකාව තරමක් දිගින් අඩු වේ.

පොත් බැඳීමේ අංශයේදී අදාළ ඡුන්ද පත‍්‍රිකා ඒ ආකාරයෙන් වර්ග වනවිට ද ඒ සඳහා විශේෂ අධීක්ෂණ මණ්ඩලයක් ද කටයුතු කරනු ලබයි. ඉන් පසුව මුද්‍රා තබන ඡුන්ද පත‍්‍රිකා දැඩි ආරක්ෂාව මධ්‍යයේ මැතිවරණ කාර්යාලයට භාරදීම සිදු වේ.
මේ කාලය තුළ මුද්‍රණ ආයතනයේ සියලූම සේවකයන් කාර්යාලයට ඇතුළුවීමේදී මෙන්ම පිටවීමේදී ද විශේෂ පරීක්‍ෂාවට ලක් කරනු ලබන අතර ඔවුන්ට කිසිසේත් කඩදාසි, ජංගම දුරකතන හෝ වෙනත් ලිපි ද්‍රව්‍ය කාර්යාලය තුළට ගෙන යාම තහනම්ය. ඒ ඡුන්ද පත‍්‍රිකා පිළිබඳ තොරතුරු පිටතට යාමට ඉඩකඩ ඇති බැවිනි.

මීට පෙර එක් අවස්ථාවකදී ඡුන්ද පත‍්‍රිකාවකින් එහි සේවකයකු නොදැන අත පිසීම නිසා ඔහු සේවයෙන් ඉවත් කිරීමට ද කටයුතු යොදා තිබිණ.

කෙසේ වුව ද මෙවර ඡුන්ද පත‍්‍රිකා මුද්‍රණයේදී මෙන්ම ඒවා අවසාන අදියර දක්වා සිදුවන ක‍්‍රියාන්විතයේදී සීසීටීවී කැමරා භාවිත කරමින් ඒ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීම නිසා ආරක්ෂාව සහ විශ්වාසය වඩාත් තහවුරු කර ගැනීමට හැකිව ඇති බව සඳහන් කළ යුතුමය.

අසංක ධර්ම ශ‍්‍රී – ඉරිදා ඇපල් පුවත්පත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *