තාත්තා පුතාගෙ ගී ගයන, පුතා තාත්තාගේ ගී ගයන “තාත්තයි පුතයි” ප්‍රසංගය මේ දෙසැම්බරයේ

ගයාන් ගුණවර්ධන ක්ෂේත්‍රයට මුලින්ම එන්නේ ගායකයෙක් විදිහට?
මට මුලින් උවමනාව තිබුණේ තාත්තා වගේ ගුවන් ඉන්ජිනේරුවෙක් වෙන්න. නමුත් උසස් පෙළවලින් පසු මම ශබ්ද පරිපාලන අංශයෙන් ඉගෙනුම ලබනවා. 2014 වසරේ මම රීමේක් එකක් රිලීස් කරනවා. ඒක තාත්තාගේ ගීතයක්. ඉන්පසු මම ගායනයට එකතු වෙනවා. එළිමහන් ප්‍රසංගවලත් ගීත ගායනයට අවස්ථාව ලැබෙනවා.

 

ගයාන් Tv 1 නාළිකාවේ ජනප්‍රිය නිවේදකයෙක්. එයත් ගයාන්ගේ එක් බලාපොරොත්තුවක්ද?
මම ඇත්තටම නිවේදකයෙක් වෙන්න බලාපොරොත්තු වුණේ නැහැ. මට Tv 1 නාළිකාවට ආරාධනා කළේ බුද්ධික වික්‍රමවර්ධන මහත්මයා. එතුමාගේ ආරාධනය නිසා Tv 1 නාළිකාවෙ “දඟරැල්ල” වැඩසටහනේ නිවේදන කටයුතු කරනවා “ගයියා” විදිහට. මගේ සහයිකාව විදිහට හසිනි ඉන්නවා. අපි දෙන්නා “ගයියා” සහ “හසිනි” කියලා චරිත දෙකක් හදාගෙන සතියේ දවස් පහම Tv 1 එකේ දහවල් 12.45ට “දඟරැල්ල” වැඩසටහන කරනවා. ඊට අමතරව සති අන්තයේ සෙනසුරාදා දිනයන්හි තවත් වැඩසටහනක නිවේදන කටයුතු කරනවා. නිවේදනය කියන්නේ මගේ ජීවිතේට අහම්බෙන් ලැබුණු දෙයක්. ඒ ලැබුණු අවස්ථාව මගේ උපරිමයෙන් මම කරනවා.

ගයාන් රංගන ක්ෂේත්‍රයට යොමු වෙන්නේ “හිතුවක්කාරයා” ටෙලි නාට්‍යයෙන්. සැබෑ ජීවිතයේදීත් ගයාන් හිතුවක්කාරයෙක්ද?
සංගීත නිර්මාණ කටයුතුවලදී මම තරමක් හිතුවක්කාරයි. මගේ ජීවිතේ මම ගොඩක්ම අරන් තියෙන්නෙ හිතුවක්කාර තීරණ. ඇත්තටම මම ගායකයෙක්, නිවේදකයෙක් මෙන්ම රංගන ශිල්පියෙක් ලෙසත් කටයුතු කරන්නේ මගේ හිතුවක්කාරකම නිසා වෙන්නත් පුළුවන්. ඊට අමතරව මම “Plus (-)” සංගීත කණ්ඩායම කරගෙන යනවා ගයාන් උඩවත්ත සමග එකතු වෙලා. ඉතින් “හිතුවක්කාරයා” ටෙලිනාට්‍යයේත් මම හිතුවක්කාරයා. නමුත් සැබෑ ජීවිතේදී ඊට වඩා හිතුවක්කාරයි. ඒ හිතුවක්කාරකම සමග ජීවිතේ ලස්සන දේවලුත් වෙනවා.

දිගටම රංගනයේ නිතර වෙන්න බලාපොරොත්තුවක් තියෙනවද?
දැනටත් මට ආරාධනා ලැබෙනවා. හොඳ ඩිරේක්ටර් කෙනෙක් සමග හොඳ Cast එකක්, හොඳ චරිතයක් ලැබුණොත් මම ඒ ආරාධනාව භාරගන්නවා. “ආදරය ගින්දරක්” ටෙලි නාට්‍යයේ තේමා ගීතය උරේෂා රවිහාරි සමග ගායනා කරන්නෙත් මම. ඉතින් හොඳ නිර්මාණවලට දායකත්වය ලබාදෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

සිනමාවට යොමු වෙන්නත් බලාපොරොත්තුවක් ඇති?
මගේ තාත්තා චිත්‍රපට පසුබිම් ගායකයෙක්. ඉතින් මට හොඳ සිනමා නිර්මාණයකට ගායනයෙන් හෝ රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබුණොත් ඒ ආරාධනාව මම භාරගන්නවා.

ගයාන්ගේ ආදරය ගැන කතා කළොත්?
ආදරය කරලා තියෙනවා. ආදරයේ හොඳ නරක මම විඳලා තියෙනවා. අත්දැකීම් ලබලා තියෙනවා. ආදරය කියන්නේ හරිම සුන්දර දෙයක්. නමුත් සමහර වෙලාවට ආදරය ගින්දර වගේ. අන්තිමටම මම ආදරය කළේ 2017 වසරේ. මේ වන විට මම තනිකඩ තරුණයෙක්.

ගයාන් ක්ෂේත්‍රය තුළ විවිධ වූ භූමිකාවන් කරනවා. ලැබෙන ප්‍රතිචාර කොහොමද?
“හිතුවක්කාරයා” ටෙලි නාට්‍යයේ “බිඟුන්” කියන චරිතය තුළ මම අහිංසක කෙනෙක්. ඉතිං නිවේදන ජීවිතය තුළ “ගයියා”ගේ චරිතය මෙන්ම “බිඟුන්”ගේ චරිතයට ආදරය කරන බොහෝදෙනෙක් ඉන්නවා. ඒ වගේම ගයාන් ගුණවර්ධන කියන ගායකයාට ආදරය කරන ඊටත් වඩා රසික පිරිසක් ඉන්නවා සහ තාත්තාගේ ගීත මගේ හ¾ඩින් අහන්න කැමැති ප්‍රේක්ෂක පිරිසකුත් ඉන්නවා. ඇත්තටම මේක මං ලබපු භාග්‍යයක් කියලා හිතනවා.

මේ වසර අවසානයේ ලොකු ප්‍රසංගයක් පැවැත්වීමට සූදානම් කරලා තියෙනවා නේද?
ඔව්. මේ වසරේ දෙසැම්බර් මාසයේ “තාත්තයි පුතයි” කියලා ප්‍රසංගයක් කරන්න සූදානම් වෙනවා. තාත්තා මගේ ගීතත්, මම තාත්තාගේ ගීතත් වගේම තවත් බොහොමයක් ගීත (සිංහල, බටහිර, හින්දි) ගායනා කරන්නට සූදානම් වී සිටිනවා. මෙම ප්‍රසංගය ලස්සන ප්‍රසංගයක් වේවි කියලා විශ්වාස කරනවා. මගේ ප්‍රේක්ෂක සියලුමදෙනාට ආරාධනා කරනවා එදාට අපිත් සමග සතුටු වෙන්න “තාත්තයි පුතයි” ප්‍රසංගයට පැමිණෙන්න කියලා.

ඉදිරි වැඩ ගැන කිව්වොත්?
මම Tv 1 නාළිකාවත් සමග එකතු වෙලා මගේ නිවේදන වැඩකටයුතු දිගටම කරගෙන යනවා. ඒ වගේම මගේ අලුත්ම ගීතය “ඉසබෙලා” ඉක්මනින් රීලිස් කරන්න බලාපොරොත්තු වෙනවා. මම තවත් අලුත් ගීතයක් නිර්මාණය කරගෙන යනවා. මේ වසරේදී මගේ ගීත නිර්මාණ දෙකක් මගේ ආදරණීය ප්‍රේක්ෂකයින්ට තිළිණ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා සහ ගයාන් උඩවත්ත සමග එකතු වෙලා අපේ “Plus (-)” සංගීත කණ්ඩායමත් දියුණු කරගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා.

මේධාවි ජයතිලක

ඉරිදා ඇපල් – ඇපල්වත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *