දරු දන් දුන් ඇය අම්මා නම් විය

පසුගිය උඳුවප් මාසයේ අවසන් දවස් කිහිපයේදී මෙවර උසස් පෙළ විභාගය ලියූ සිසු සිසුවියන්ගේ හිත්වල මල් පිපෙන පුවතක් අසන්නට ලැබුණේ උඳුවප් සීතලට ගල් ගැහිලා තිබුණු අතපය විතරක් නෙවෙයි හිතත් උණුසුම් කරමිනි. ඒ අන්හේතුවක් නිසා නොවෙයි වසර දෙකක් තිස්සේ පාසල් ගිහින් ඉගෙන ගත්තු දෑ වල අවසන් ප්‍රතිඵලය වන උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලය 2018 නව වසර උදාවීමට දින කිහිපයක් තිබියදී නිකුත් කිරීම නිසාවෙනි.

සුවහසක් තරුණ දුවා දරුවන්ගේ සරසවි කඩඉම බවට පත්වෙන්නේ මෙම උසස් පෙළ විභාගය ය. ඒ නිසාම සිසු සිසුවියන් බොහොම නොඉවසිල්ලෙන් බලා සිටියේ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, ගණකාධිකාරිවරයෙක්, ගුරුවරයෙක් ආදී තම තමන් ආසාවෙන් සිටින වෘත්තිය කරන්නට සරසවි ප්‍රවේශයට වරම් ලැබෙන තුරු.

මේ අතරතුර ප්‍රතිඵල නිකුත් වූ දාට පසුදා උදෑසන රට පුරා ලැව්ගින්නක් සේ පැතිරී ගිය පුවතකින් කියවුණේ මෙවර උසස් පෙළ විභාගයේ කලා විෂය ධාරාවෙන් ප්‍රථමයා බවට පත්ව ඇත්තේ භික්ෂුන් වහන්සේ නමක් බවයි.

මෙරට විභාග ඉතිහාසය තුළ එවැන්නක් සිදුවූ පළමු වතාව මෙය වීම නිසාම බොහෝ දෙනෙකු එම භික්ෂූන් වහන්නේ පිළිබඳ කතා බහ කරන්නට විය.

රටේ හැමෝගේම කථානායකයා බවට පත්වූ උන්වහන්සේ පිළිබඳ සියල්ලෝම කථාකරද්දී උන්වහන්සේගේ පෙකනිවැලේ අයිතිකාරිනිය හෙවත් පත්බේරියේ මුනින්දවංශ හිමියන්ගේ පින්බර අම්මා සොයාගෙන රත්නපුරයට ගියෙමු.
උන්වහන්සේගේ අම්මා මුණ ගැසීමට අප පැමිණෙන බව පෙර දැනුම්දීමක් කළ නිසාවෙන් අප යනවිටත් ඇය එම විහාරස්ථානයට පැමිණ සිටියාය.

ඉතාමත් සුහදව අප පිළිගත් මුනින්දවංශ හිමියන් සහ ඒ මාතාව අපට ඔවුන් හා කථාබහ කිරීමට සුදුසු ස්ථානයක් පන්සලේම පිළියෙල කර තිබුණි.

අම්මාගෙයි, තාත්තාගෙයි එකතුවීම සහ ඒ ඉතිහාසය පිළිබඳව අපි ඒ අම්මාගෙන් මුලින්ම විමසුවෙමු.
අපි දෙන්නා විවාහ වුණේ යාළු වෙලා. මගේ ගම මගුරුගොඩ. මහත්තයා පරකඩුවේ පත්බේරියේ. මහත්තයාගේ නම මහින්ද. මේ ඉන්නේ මගේ ලොකු පුතා. (පත්බේරියේ මුනින්දවංශ හිමියන්ව පෙන්වමින්) තව පුතාලා දෙන්නෙක් ඉන්නවා. ‘අම්මා’ ඉතිහාසය පිළිබඳව සඳහන් කළේ එලෙසය.

තමන්ගේ දරුවෙක් සම්බුද්ධ ශාසනයට පූජාකරන්න අම්මාට හිතිලා තියෙන්නේ හරි අපූරු විදියකටය. අපි එහෙම කියන්නේ සුවිශේෂී හේතුවක් නිසාවෙනුයි. මේ පින්වත් අම්මාට හා හා පුරා කියලා එහෙම සිතුවිල්ලක් මෝදු වෙලා තියෙන්නෙත් අපත් සමග කථාබහ කරපු මේ පින්බිමේදීමයි. අනිත් කාරණාව තමයි ඒ වෙත්දී මේ අම්මා විවාහ වෙලා මාස දෙකයිලු. එහෙම කාලෙක තරුණ වයසේදීම ඒ වගේ සිතුවිල්ලක් එන්න තරම් ඒ අම්මා සංසාරේ පුරාවට කොයිතරම් නම් පින් කරලා තියෙන්න ඇත්ද ? එහෙම නැතිව ආවාට ගියාට මිනිස් හිත්වල ඒ වාගේ උදාර සිතුවිලි ඇති වන්නේ නැත. එහෙම ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම සංසාරේ පුරුද්දක් තියෙන්නම ඕනි. එහෙම නැතිව විවාහ වූ අලුතම උපදින්නට සිටින දරුවාව දන් දෙන්නට තරම් හිතක් දැඩි කරගන්න කාන්තාවකට පුළුවන්ද ? ඇරත් තරුණ කාන්තාවකට….?

ඉතින් ඒ පින්වත් මාතාව විවාහයෙන් මාස දෙකක් ගතවෙද්දී මේ පන්සල් බිමේදී දකිනවා කුල දරුවෙක් මහණ කරනවා. එදා ඒ කුල දරුවා සුදු ඇඳුමක් ඇඳගෙන පඩිපෙළ දිගේ පහළට කැඳවාගෙන එනවා දකින මේ අම්මාට මුලින්ම හිතුනේ මොකක්ද දන්නවද ? “අනේ මටත් පුතෙක් හිටියා නම් සාසනයට පූජා කරන්න තිබුණා නේද කියලා….”

එවන් පින්බර සිතුවිල්ලක් උපන්් මේ අම්මාට මුලින්ම දරුවෙක් ලැබෙන්නේ ඊට වසර දෙකකට පස්සෙයි. ඒ දරුවාට අම්මලා දාන නම තමයි ඉෂාර දිල්ෂාන් පතිරණ කියන නම.

“පොඩි කාලෙත් කිසිම දඟක් නැහැ. හරිම හොඳයි. ඒ වගේම තමයි කිසිම කරදයක් නැහැ. ඉගෙනීමටත් හරිම උනන්දුයි. මොන්ටිසෝරි කාලේ ඉඳන්ම එහෙම තමයි.”

ඒ අම්මා එහෙම කියද්දීම අපි ඇහුවේ අපේ හාමුදුරුවෝ අවුරුදු කීයක් පාසල් අධ්‍යාපනය ලැබුවද කියලා. අම්මා නම් කියන්නේ හත වසරට වෙනකල් උන්වහන්සේ පාසල් අධ්‍යාපන කටයුතු සිදු කළා කියලා.

“ඒ විතරක් නෙවෙයි අදටත් ඒ පාසලේ ගුරුවරු මුනින්දවංශ හිමියන්ගේ සොහොයුරන්ට කියන්නේ අයියා දිහා බලලා හැදෙන්න කියලලු. ඒ විතරක් නෙවෙයි. අදටත් ඒ ගුරුවරු හාමුදුරුවන්ට ගොඩාක් ආදරෙයිලු.” අම්මා එහෙම කියද්දි ඒ පුංචි ඇස් ලස්සනට දිලිසෙනවා අපි දැක්කේ මුහුණේ පැත්තකට වැටුණු හිරු එළියට.

පවුලේ වැඩිමලා ඉෂාර මධුසංඛ වයස අවුරුදු 12 දි පැවිදි දිවියට ඇතුළත් වන්නේ සිය කැමැත්තෙන්මය. අම්මා කියන විදියට තාත්තා නම් මේ වැඩේට ඒ තරම් ලොකු කැමැත්තක් තිබිලා නැහැ. මොකද කියනවා නම් තමන් නැති දවසක මේ පවුල රැකබලාගන්න ඉන්න වැඩිමහල් දරුවාව දන්දෙන්න තරම් ඒ තාත්තාගේ හිත හයිය නැතිව තියෙන්න ඇති. කොහොම වුණත් මේ පින්වත් මව්පියන්ගේ ආශිර්වාදය මැද 2008 ඔක්තෝබර් 20 වැනි දින ඉෂාර මදුසංඛ, පත්බේරියේ මුනින්දවංශ නමින් පැවිදි දිවියට ඇතුළත් වෙනවා.

එදා ඒ විදිහට ඉටුවන්නේ හරියටම ඊට වසර 14කට පෙර පින්වත් මාතාවගේ හිතේ උපන් හීනයක්. බලාපොරොත්තුවක්. ඉතින් ඒ හීනේ ඉටුවන දවසේ අම්මාට දැනුණු විදිය අපිට විස්තර කළේ මෙහෙම.

“එදා සතුටු වුණාට මම මගේ දරුවා අහිමි වුණ දුක අවුරුදු දෙක තුනක් යනකල් වින්දා. පුතේ ඒක මට වචනයෙන් විස්තර කරන්න අමාරුයි. ඒත් දැන් මම සතුටු වෙනවා. එක දරුවෙක් හරි බුදු සසුනට පූජා කිරීමට ලැබීම පිළිබඳව.” මේ බෝසත් අම්මා දාරක ස්නේහයත් හිතේ පුරෝගෙන අපිත් එක්ක කථා කළේ හරි නිහතමානී සතුටක් හිතේ දරාගෙන කියලා අපට හිතුනේ.

ඊට පස්සේ අපි ඇහුවේ අනිත් දරුවෝ දෙන්නා ගැන. “එක්කෙනෙක් මේ සැරේ සාමාන්‍ය පෙළ කළා. අනිත් පුතා 10 වසරට සමත් වුණා.” එහෙම කීවේ පිරිමි දරුවෝ තුන්දෙනෙක් සමාජයෙන් කිසිම කථාවක් අහන්නේ නැතිව උස් මහත් කරපු සතුටත් එක්කමයි. ඒ අම්මාගේ හිතේ තියෙන හැඟීම් කන්දරාව අකුරුවලට පෙරළන්න නම් අපිට කොහොමත් බැහැ. ඊටත් වඩා අම්මා කෙනෙක් විඳින ඒ හැඟීම විස්තර කරන්න පුළුවන් තවත් අම්මා කෙනෙක්ටම විතරයි.

ඒ දරුවෝ දෙන්නා ගැන මුනින්දවංශ හිමියන්ගේ අම්මා කියපු කථාව අහලා අපි තවත් පුදුමයට පත්වුණා. මොකද මේ අපි ඉස්සරහ ඉන්නේ අපේ කාලයේ වෙස්සන්තර පරපුරේ වීර මාතාවක් නිසා. අම්මා කියන විදිහට තම දෙවැනි දරුවත් ශාසනයට පූජා කරනවලු. හැබැයි ඒ දැන්මම නෙවෙයිලු. ඒකට දරුවාට අවුරුදු 22ක් වත් වෙන්න ඕනි කියලා තමයි අම්මාගේ අදහස. ලොකු පුතා අවුරුදු 12න් මහණ කළාට දෙවැනියා ඊට වඩා ටිකක් සමාජශීලී නිසා ගිහි සමාජයෙන් ඉගෙන ගන්න ඕනි දේවලුත් ඉගෙන ගත්තම අවුරුදු 22න් විතර මහණ කරවනවා කියලයි අම්මා කියන්නේ. එහෙම කියද්දි අම්මාගේ මුහුණේ දුකක් හෝ සතුටක් අපි දැක්කේ නැති නිසා ඒ ගැනත් අපි ඇහුවා.

එහෙම අහද්දී ඒ අම්මා කීවේ “මේ හැමදේම අනිත්‍ය බව අපි හොඳටම දන්නවා” අපි ඒක තේරුම් අරන් තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා හිතේ දුකක් නැහැ” කියලා.

“ඒ විතරක් නෙවෙයි දරුවොත් එක්ක අපි පස්දෙනාම බොහොම සතුටින් තමයි හිටියේ. අපි යාළුවෝ වගේ තමයි ගෙදර ඉන්නේ. ඒ වුණාට අපි ඔක්කෝම ඉන්නේ මේ අනිත්‍ය බව තේරුම් අරන්. එතකොට ජීවත් වෙන්න පහසුයි.”

එහෙම කියපු අම්මා අන්තිමට කියපු කථාවෙන් අපි උඩ ගියා. වැඩිමහල් දරුවෝ දෙන්නම ශාසනයට පූජා කළාට පස්සේ මේ බෝසත් අම්මාත් මහණදම් පුරන්නලු කැමති. එහෙම නොවුණොත් සිල් මාතාවක් වෙලා හරි උපස්ථාන කරමින් ඉන්නවා කියලා තමයි අම්මා හිතන් ඉන්නේ.
එහෙම කියද්දිම අපි ඇහුවේ එතකොට අනිත් දරුවායි මහත්තයයි තනිවෙනවා නේද කියලා. ඒකටත් මේ අම්මා ළඟ තිබුණේ හරි අපූරු උත්තරයක්.

“ඒ වෙද්දී පොඩි දරුවාටත් දැනුම් තේරුම් තියෙනවා. සමාජයේ ජීවත්වෙන විදිය දන්නවා. ඒ නිසා එක ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. අනික සමහර විට එදාට ඒ දෙන්නත් මහණ වෙන්න පුළුවන්. සමහර විට එහෙම නොවෙන්නත් පුළුවන්.”
බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට අම්මා කෙනෙක් ළඟ තියෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්ම විහරණ හෙවත් ගුණ 4ක්. ඉතින් මේ මොහොතේදී අපිටත් දකින්නට ලැබුණේ මේ අම්මාගේ උපේක්ෂා ගුණය දෝරේ ගලා ගිය අවස්ථාවක් කියලා අපට හිතුනේ කථා කරද්දි හ‍ෙ¾ඩ් තිබුණේ ශාන්ත නිවුණු ස්වරූපයෙන්.

සාමාන්‍යයෙන් උසස් පෙළ වැනි තරගකාරී විභාගයකින් ලංකාවෙන්ම පළමුවෙනියා වෙන්න ලැබෙනවා කියන්නේ ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි එහෙව් දරුවන් නිරන්තයෙන්ම උත්සාහ කරන්නේ සමාජයේ උසස් රැකියාවක් කරන්නට යෙදවීම. ඒ සඳහා අවශ්‍ය කරන අධ්‍යාපනික පසුබිම හදා ගැනීමට තමයි ඔවුන් මුල්තැන දෙන්නේ. ඒත් භික්ෂුන් වහන්සේ නමන් ලංකාවෙන් පළමුවෙනියා වෙලා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද? ඒ විශ්ව විද්‍යාලයට ගිහින් උපාධිය ගත්තට පස්සේ අයෙත් ගිහි ජීවිතයට යයි කියලා බයක් දැනෙන්නේ නැද්ද අප අම්මාගෙන් ඇහුවේ උත්තරය කුමක්වේදැයි සිතාගත නොහැකිවය.

ඒත් ඒ අම්මා කීවේ හාමුදුරුවන්ගේ බලාපොරොත්තුව උපාධිය අරගෙන කථිකාචාර්යවරයෙක් වෙලා භික්ෂුවක් විදියට රටට ජාතියට සේවය කිරීමයි කියලා. ඒ වාගේම තමයි ඒ අම්මාට හොඳට විශ්වාසයි තමන්ගේ ලෙයින් උපන් මේ බුද්ධ පුත්‍රයා පැවිදි වෙලා ආයෙත් ගිහි ජීවිතයට නොඑන බව.

“අනික තමයි පුතා ගෙදර හිටියාට වඩා මෙහෙම වුණ එකට ගොඩක් සතුටුයිලු. ගෙදර හිටියා නම් සමහර විට වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් වෙයි. ඒත් ශාසනයට දරුවෙක් පූජා කරපු සතුට ඊට වඩා වැඩියි කියලා” ඒ අම්මා කීවේ ළය සුසුමක් හෙළා සැහැල්ලු කර ගනිමිනි.

අවසාන වශයෙන් මේ බෝසත් පරපුරේ අම්මාගෙන් අපි ඇහුවේ මේ වේලාවේ අම්මලාට, හාමුදුරුවන්ට උදව් කරපු ගොඩක් අය ඇතිනේ. ඒ අයත් මතක් කරමු කියලා.

ඔව්. ගොඩාක් අය උදව් කළා. ගිනිහිරිය පන්සලෙන් පනගමුවේ පන්සලෙන්, ඒ වාගේම අනිත් නැදෑ හිතවතුන් හැමෝම වාගේ ගොඩාක් උදව් කළා. ප්‍රතිඵල එන්නත් කලින් හැමෝම කීවේ හාමුදුරුවෝ කැම්පස් යන්න තේරෙයි කියලා. ඒ හැමෝටමත් ගොඩක් පින්. ඒ පින්වත් මාතාව එහෙම කීවේ ඇස්වල කඳුළු පුරවාගෙන.

ගමේ පාසලේ කුල දරුවෙක් පැවිදි කරනවා දැක්ක උපන් පින්බර සිතුවිල්ල, ක්‍රියාවට නැගුණේ දෛවයේ හාස්කමකට මෙන් ඒ පින්බිමේ, ඒ ස්ථානයේදීමයි. ඉතින් එහෙව් අම්මා කෙනෙක්, පින්වත් දරුවන් තුන්දෙනෙකුට මාතාවක් මෙන්ම, සැමියාට ආදරණීය බිරිඳක් වෙලා අවසානයේදී සසර කතරින් එතෙර වීමට බලාපොරොත්තු වෙන්නේ කසාවත ගතේ දවටාගෙන. දැනටත් පස්දෙනෙක්ගෙන් යුතු පවුලේ එක් අයෙක් පැවිදි වෙලා. දෙන්නෙක් පැවිදි වෙන්න බලාගෙන ඉන්නවා. අනික් දෙන්නත් පැවිදි වෙයි කියලා මේ පින්වත් අම්මාගේ හිතේ විශ්වාසය. ඉතින් ඒ පින්වත් පවුලේ බලාපොරොත්තුව එලෙසම ඉටුවේවා කියලා හිතාගෙන අපිත් පන්සලෙන් ආවේ පත්බේරියේ මුනින්දවංශ හිමියන්ගේ සහ ඒ බෝසත් අම්මාගේ දෙපා නමැදලා.

රත්නපුරෙන් කොළඹ එද්දිත් අපට හිතුනේ බුදුන් තෙවරක්ම වැඩිය මේ පිං බිමේ මේ වාගේ බෝසත් පවුල් තව තවත් බිහිවේවා කියාය. ආපසු එන අතරතුර සමන් දේවාලය වැඳ පුදාගෙන ප්‍රාර්ථනා කළෙත් අපේ මේ පින්බර මවුබිම යළිත් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ධර්මද්වීපයක් වේවා කියාය.

සටහන – සචිත් යාපා 
ඡායාරූප _ හෂාන් අනුරාධ

ඉරිදා ඇපල් පුවත්පත 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *