නව අධිකරණය අද වැඩ අරඹයි – පළමු නඩුව මෙන්න

මහා පරිමාණ මූල්‍ය වංචා සහ දූෂණ නඩු විභාග කරන පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ කටයුතු අද (24) ආරම්භ වනවා.

පළමු නඩුව ලෙස එහිදී කැඳවීමට නියමිතව ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සිව් දෙනෙකුට එරෙහි නඩුවයි.

එහිදී මහාධිකරණය විසින් විත්තිකරුවන්ට අධි චෝදනා භාරදෙනු ඇති.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත්, ශ‍්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පියදාස කුඩාබාලගේ සහ හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න මෙන්ම ලසන්ත බණ්ඩාර යන අයට අද දින මෙම  මහාධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් මීට පෙර සිතාසි නිකුත් කළා.

ඒ, ලිට්‍රෝ ගෑස් සමාගමෙන් පෞද්ගලික සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් වෙනත් හෝටල් සමාගමකට නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්.

දැනට කොළඹ මහාධිකරණයේ සේවය කරන මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න මෙම පළමු ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරනු ඇති. මෙම අධිකරණ ගොඩනැගිල්ල ඉකුත් අගහරුවාදා විවෘත කෙරුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *