පන්තියේ වැඩිපුරම හිටියේ මෝදර වැල්ලේ ළමයි. ඒ අතර සිටි වෙනස්ම ළමයා තමයි මැල්කම්

Sharing is caring!

ඉස්කෝලෙදි හෙමින් ඇවිද්ද වතිකානු කුමාරයා
මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ගැන බාලාංශ ඉස්කෝල මහත්තයා කියයි

ලුණුපොකුණ ශාන්ත ඇන්ඩෲ විද්‍යාලයට මුල්ගුරු පත්වීම ලද ඇල්ෆ්‍රඩ් කුමාරගේ මහතා එවකට බාලාංශ පන්තියේ ඉගෙනුම ලද විශේෂිත දරුවෙකු ගැන අවධානයෙන් සිටියේය. හෙතෙම දඟ නැත. වැඩ හෙමින් හෙමින් කළත් පිළිවෙළය. කොටින්ම ඔහු විදුහලේ සිසු සෑම ළමයකුට වඩා වෙනස්ය.

ඔහු අද ලොවම දන්නා මෙරට වෙසෙන එකම කාදිනල් පූජකවරයායි. ඒ මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ය. දැනට අසූහය වන වියේ පසුවන කුමාරගේ මුල් ගුරුතුමා කාදිනල් හිමියන්ගේ ළමා කාලයේ මතක අවදි කළේ මෙලෙසිනි.

මීගොමුවේ බෝලවලාන කතෝලික ගුරු ඇබෑසි විදුහලේ 1954 – 55 දෙවර්ෂයේ පුහුණුව අවසන් කළ ඇල්ප්‍රඩ් කුමාරගේ මහතාට, පළමු රාජකාරි පත්වීම ලැබුණේ, කොළඹ මෝදර, ලුණුපොකුණ ශාන්ත ඇන්ඩෲ විද්‍යාලයටය.

ඒ අවදියේ, මෙරට පාසලක ඉගැන්වීම සඳහා පත්වීමක් ලැබුණේ, ගුරු විදුහලක පුහුණුව ලත් කෙනෙකුට පමණි.

උපාධිධාරීන්, පාසල්වල ගුරු පත්වීම් ලබාගැනීමට එදා එතරම් උනන්දුවක් දැක්වූයේ නැත. ඒ හීන ගුරු වැටුප නිසාය. එදා අද තරම් උපාධිධාරීන්ගේ බහුලතාවක් ද ඔවුනට රැකියා හිඟයක් ද නොවීය. ඒ නිසා, එදා රටේ පාසල්වල, ඉගැන්වූ ප්‍රධානම පිරිස පුහුණු ගුරුවරු විය. ඉනුත් අධිකම පිරිස සිංහල පුහුණු ගුරුවරු විය. ඔවුන් අතර වැඩිදෙනෙක් පාසල්වල එදා පැවති සියලු විෂයයන් ඉගැන්වීමෙහි දක්ෂයන් වූහ. රටේ ඉගැන්වීමේ කටයුත්ත භාරගෙන, රජයේ ආධාර ඇතිව එදා වැඩි පාසල් සංඛ්‍යාව පවත්වා ගෙන යන ලද්දේ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම, කතෝලික හා ක්‍රිස්තියානි සභා, හින්දු හා ඉස්ලාම් සංවිධාන යන ආගමික සංවිධාන විසිනි.

නිසි ඉගැන්වීම් පුහුණුවක් නොලත් කෙනෙකුට, දරුවන් මනෝ විද්‍යාත්මකව හඳුනාගෙන, ඉගැන්වීම හරි හැටි කළ නො හැකි බවට බලවත් මතයක්, එදා අධ්‍යාපනඥයන් අතර විය.

ලුණුපොකුණ ශාන්ත ඇන්ඩෲ විද්‍යාලය ආධාර ලත් කතෝලික පාසලක් විය. 1956 වසරේ පළමු පාසල් දිනය වූයේ එදාය.

හෙතෙම, හෙමිහිට හෙමිහිට විදුහල් බිමට ඇතුළු වූයේය. වටපිට බැලුවේය. ප්‍රතාපවත් පෙනුමක දේවස්ථානයක් විදුහල අසලමය. කිසි ළමයෙකු පාසල් බිමේ නැත.

‘‘කොහෙද දන්නෙ නෑ ලොකු ඉස්කෝල මහත්තයගෙ කාමරේ ඔහුට සිතුනි.

‘‘මහත්තය මෙහෙට එන අලුත් ගුරුතුමා ද’’

කුමාරගේ මහතාට හඬක් ඇසුනි. ඔහු පිටුපස බැලුවේය.

‘‘එහෙමයි…..මේ ලොකු මහත්තය ද ?’’

‘‘ඔව් එන්න…. යං මගෙ කාමරේට….මං බලාපොරොත්තුවෙන් හිටියෙ, ඔහු එකත්පස්ව ලොකු මහත්තයා පසු පස ගියේය.’’

‘‘වාඩිවෙන්න’’

කුමාරගේ මහතා සිය නිල පත්වීමේ ලිපිය, ලෝරන්ස් ප්‍රනාන්දු ලොකුමහත්තයා අතට දුන්නේය.

ලොකු මහත්තයා මේස ලාච්චුවෙන් ලොග් පොත එළියට ගත්තේය. ඇල්ප්‍රඩ් කුමාරගේ මහතා එදින සිය විදුහලේ රාජකාරි භාරගත් බවට සටහනක් යෙදුවේය.

උදේ සුපුරුදු යාච්ඤා සඳහා පල්ලියට ගිය පාසලේ සිසු දරුවන්, කෙනෙකු පසුපස කෙනෙකු සේ දෑත් පිටුපස තබා අල්ලාගෙන, ගුරු භවතුන් ද සමග නිහඬව පංති කාමරවලට එනු කුමාරගේ මහතා දුටුවේය.

‘‘ළමයි කැලෑසිවලට යනකං අපි ටිකක් කතා කරමු.’’

‘‘හොඳමයි’’

‘‘කොහෙද මහත්තයගෙ ගම් පළාත’’

ලොකු මහත්තයා හීන් සීරුවේ කුමාරගේ මහතා ගේ ගම් පළාත, දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ගැන දැනගත්තේය. ටික වේලාවක් ඔහු දෙස බලා සිටියේය. කුමාරගේ මහතා පෙනුමෙන් නූස්ය. සිරුරින් කුඩාය. කතා කරන්නේ ද හෙමිහිට ය.

‘‘මහත්තයට ඉස්කෝලෙ ගැන කාරණා හතරක් කියන්න තියෙනව.. දැන ගැනීම සඳහා.’’

‘‘කියන්න ලොකු මහත්තය’’

‘‘පළවෙනි කාරණය… මෙහෙ ළමයි ඉන්නෙ ටික දෙනයි… දෙක බාලාංශෙ ඉඳල අටේ කැලෑසිය දක්වා විතරයි මේ ඉස්කෝලෙ පංති තියෙන්නෙ…. තුන ඉතා වැදගත්, මෙහෙ ඉගෙන ගන්න ළමයි ඔක්කොම, මෝදර වැල්ලෙ ධීවර පවුල්වල දරුවො. ඒ ගොල්ලන්ගෙ හැසිරීම්, රටේ අනික් දරුවන්ට වඩා වෙනස්.,

‘‘ඒ කිව්වෙ.’’

‘‘මහත්තය… වැල්ලෙ දරුවන්ගෙ කතා බහ වෙනස්. කේන්ති ගියහම උන්ගෙ අම්මල තාත්තල ගෙවල් ඇතුළෙ කියන වචන මේ ළමයින්ගෙ කටවල්වලිනුත් ඉඳහිට පිට වෙනව ඉස්කෝලෙදිත්….ඒ විතරක් නෙවි…. උන් මහ දඟයො..’’

‘‘දඟ ළමයින්ට නං මාත් කැමතියි ලොකු මහත්තය.’’

‘‘හතර ඉතාම වැදගත්….මේ ඉස්කෝලෙ ඇතුළෙ මුල් ගුරුවරයා මං’’ වුණාට…. ඉස්කෝලෙන් පිට තවත් කෙනෙක් ඉන්නව ඉස්කෝලෙ බලා කියා ගන්න’’

‘‘ඒ කවුද ලොකු මහත්තය..’’

‘‘පල්ලියෙ සුවාමි….පරක්කු වෙලා හෙම ආවොත් මගෙන් බේරුණත් උන්නාන්සෙගෙන් නං බේරෙන්න හම්බවෙන්නෙ නෑ…. මෙහෙ එනව ගුරුනාන්සෙ කියල කතා කරල…. අහනව….. පරක්කුවට හේතු….

ප්‍රංශකාර සුවාමි කෙනෙක්…කොහෙ ඉඳලද එන්නෙ…මොකෙන්ද එන්නෙ… නැගිටින්නෙ කීයටද… වගේ දේවල් අහයි. කලබල වෙන්න එපා. තර්ක කරන්න යන්නත් එපා…. නිශ්ශබ්දව අහගෙන ඉන්න.. පමා වෙලා ඉස්කෝලෙ එන ළමයි ගැනත් එතුමා ඒ විදිහටම හොයල බලනව. ඒ විතරක් නෙවි ඉස්කෝලෙ නොඑන ළමයි හොයාගෙන එන්න එතුමා ළමයින්ගෙ ගෙවල්වලටත් යනව. ඒක මටත් ලොකු උදව්වක්,

විනාඩි දහයකට පමණ පසු ලොකු මහත්තයා අසුනෙන් නැගිට්ටේය. බිත්තියේ තරමක් ඉහළ ඇණයක එල්ලා තිබූ වේවැල අතට ගත්තේය.

‘‘යං මහත්තය’’

ශාලාවක මුලම තිබූ පංති කාමරයකට අලුත් මහත්තයාව කැන්දන් ගිය ලොකුමහත්තයා හඩඟා අණක් දුන්නේය.

‘‘ළමායි නැගිටීන්… ඉඳගාන්…. නැගිටීන්… ඉඳගාන්…. අද ඉඳන් ඔය ළමයින්ට උගන්වන්නෙ මේ මහත්තයා…. කෝ නාම ලේඛනය….. ආ මහත්තය භාර ගන්න’’

ගුරු මේසය මත තිබූ බාලාංශයේ නාම ලේඛනය, කුමාරගේ මහතා ගේ අතට දුන් ලොකු මහත්තයා, පංතියෙන් පිටව ගියේය.

කුමාරගේ මහතා කළු ලෑල්ල දෙස බැලීය. පහළ බාලාංශය යැයි එහි ලොකු අකුරින් ලියා තිබුණි. නාම ලේඛනයේ ශිෂ්‍ය සංඛ්‍යාව තිස්පහක් විය. කුමාරගේ මහතා ළමයින්ට ආයුබෝවන් යැයි කීය. ළමුන් එතරම් උනන්දුවකින් ප්‍රතිචාර දැක්වූයේ නැත. ඔවුන්ගේ ඇඳුම් එක සේ නො වීය. එක එක පාට කලිසම් කමිසය. පංතියේ තිබුණේ දිග ඩෙස්ක හා බංකුය. හැම ළමයෙකු අතම ගල්ලෑල්ලක් විය. ගල්කූරක් විය.

දෙතුන් සතියක් යද්දී පංතියේ ළමයින් ගේ නම කියා ඇමතීමට තරම්, ඔවුන් හඳුනාගන්නට කුමාරගේ මහතා සමත් විය. කඩින් බඳු ළමුන් කීප දෙනෙකු ඔවුනතර විය. වැඩි දෙනා වැඩක් පවරා වුව විනාඩියක්වත් එක ඉරියව්වක තබා ගත හැකි අය නොවීය.

පළමු මාසය ගෙවී ගියේය.

ළමුන් බොහොමයක්, දිනපතා පාසල් නොඑන බව කුමාරගේ මහතා වටහා ගත්තේය. එසේම එතරම් උනන්දුවකින් වැඩ කළ අයද නොවීය. වැඩි දෙනා දඟයන්ය. අරය මට මෙහෙම කළා… මෙයා මට අරහෙම කළායි…. කියමින් තමා වෙත එන ළමුන් වැඩි දෙන, ලොකු මහත්තයා කී, වැල්ලේ දඟ ළමයින් බව කුමාරගේ මහතා වටහා ගත්තේය.

ඒ අතර සිටි එක් වෙනස් දරුවෙකු ගුරු මහතාගේ හිත දිනා ගන්නට සමත් විය.

ඔහුගේ ඇඳුම් පිළිවෙළකට විය. පංතියට වුවමනා උපකරණවල අඩුවක් ඔහුට නොවීය.. ඔහු වැඩ කළේ තනිවමය. කථා බහ කළේ අඩුවෙන්ය. හෙමිහිටය. ළමුන් ආශ්‍රය කළේ ද යම් ප්‍රවේශමකිනි. තමා දෙන වැඩ ඔහු තමන්ගේ පාඩුවේ කරන බව කුමාරගේ මහතා වටහා ගත්තේය. අන් ළමයෙකු හා සණ්ඩු සරුවල් කරගෙන ඔහු ගුරුමේසය අසලට දුවගෙන ආවේ නැති තරම්ය. වැඩ කඩිනම් නොවුව ද දෙන වැඩ ඔහු අතනෑර කරන බව ගුරු මහතා තේරුම් ගත්තේය. ඔහු තමා පැවරූ වැඩක් කිරීමෙන් අනතුරුව ගුරු මේසය අසලට පැමිණියේ ද දුවගෙන දුවගෙන නොවේ. හෙමිහිට හෙමිහිටය. ඔහු කාගෙන්වත්, කිසිම දෙයක් අසා කරනු ගුරු මහතා දැක නැත.

තොරතුරු සොයා බලද්දී කුමාරගේ මහතාට ආරංචි වූයේ, ඔහු මෝදර වැල්ලේ දරුවෙකු නොව පයාගල, ප්‍රදේශයෙන් ලුණුපොකුණේ පදිංචියට ආ පවුලක දරුවෙකු බවය.

පංති නාම ලේඛනයේ ඔහුගේ නම මෙසේ විය.

පී. ඩී. ඇල්බට් මැල්කම් රංජිත්.

ඒ ඔහු අද මෙ රට කතෝලික සභාවේ බස්නාහිර පළාතේ (කොළඹ පදවියේ) නායක පූජකවරයාය. ලෝක කතෝලික සභාවේ මහා නායක පූජක වීමට හිමිකමක් ඇති, අද මෙරට වෙසෙන එකම කාදිනල් පූජක වරයාය.

‘‘දෙතුන් මාසයක් ගෙවෙද්දි මට තේරුණා මිනිහ කවද හරි යහපත් ළමයෙක් වෙන බව..’’

‘‘පංතියෙන් පංතිය ඉහළට යද්දි හොඳට ඉගෙන ගන්න ළමයෙක් වෙන බව…’’

‘‘ඔහු කවදහරි රටේ විශේෂ කෙනෙක් වෙන්න පුළුවන් කියන අඩමානෙන් පහු වෙද්දි මා තුළ ඇති වුණා…’’

‘‘කොහොම හරි ඒ ළමයා ලොකු රස්සාවක් කරන කෙනෙකු වෙන බවට ලකුණු නම් මම හොඳටම දැක්ක’’

කුමාරගේ ගුරු මහතා අප හා පවසාගෙන පවසාගෙන යයි.

‘‘පහු කාලෙක මගේ ඒ අනුමාන ඔහු අරබයා ඉටුවෙනු මං බලන් හිටියෙ මහත් ආඩම්බරයකින්. මට එබන්දෙකුගෙ පළමු ගුරුවරයා වන්නට වාසනාව ලැබීම මොන සන්තෝසයක්ද’’

‘‘හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනෙනව වගේ මැල්කම් ළමය කවදහරි විශේෂ තැනැත්තෙක් වෙන බව මම දැක්ක’’

‘‘අදත් මම ජීවත් වෙන්නෙ ඒ ප්‍රීතියෙන්’’

‘‘අද වුණත්, කොහේ කොතැන මාව දැක්කත් එතුමා ඇවිත් මගෙ අතින් අල්ලන් කොහොමද සැප සනීප කියල අහනව’’

‘‘එතුමාගෙ ජීවිතේ විශේෂ අවස්ථාවල මට කැඳවීමක් ලැබෙනවාමයි…’’

ප්‍රැන්සිස් පාප්තුමා 2015 ලංකාවට පැමිණ බෝලවලාන බෙනඩික් උසස් අධ්‍යාපන ආයතනය විවෘත කරන දින, මැල්කම් කාදිනල් රංජිත් හිමි සිය පළමු ශ්‍රේණි ගුරුවරයාට ද එතැනට ආරාධනා කර තිබේ.

‘‘මේ මගේ පළමුවෙනි ගුරු මහත්මය’’

කුමාරගේ මහතාගේ දෑත අල්ලාගත් පාප්තුමා ඔහුට හිස නමා ආචාර කර තිබේ.

අද, වත්තල, මාබෝල, අප්පුගෙවත්ත නිවාස ක්‍රමයේ පදිංචි කුමාරගේ ඉස්කෝල මහත්තයා ගෙවුණු කාලය තුළ ප්‍රදේශයේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා (උඩුවර පියනන්ද හා මතුගම සුමනානන්ද හිමිවරු) සමගද කලක් මාබෝල දේවස්ථානයේ සේවය කළ, වර්තමාන, කොළඹ සහායක රදගුරු මැක්ස්වෙල් සිල්වා පියනම සමග ද සමාජ හා ආගමික සේවා රැසක යෙදී තිබේ.

‘‘ඉන් පස්සෙ මට ඒ වගේ නිවිච්ච ළමයෙක් මුණගැහිල නෑ, සිය ඉහළම ගෝලයාගේ ගුණ, අප ඉදිරියේ වැයුමට කුමාරගේ මහතාට ඉස්පාසුවක් නැත.’’

ඔහුගේ සමකාලීන ගුරු මිතුරන්, ගුරු විද්‍යාල සමයේ සිටම ඔහු අමතන්නේ, කුමාරයා. යන නමිනි.

අපට ඔහු පෙනෙන්නේ මහ කුමාරයෙකු බිහි කරන්නට (වතිකානය, කාදිනල්වරු හඳුන්වන්නේ, සිය ආගමික රාජධානියේ කුමාරවරු ලෙසය.) අත්පොත් තැබූ කුඩා කුමාරයෙකු සේය.

ඔහු කවදාහරි රටේ විශේෂ​ කෙ​ෙනක් වෙන බව මම දැනගත්තා. අදටත් මම ජීවත්වෙන්නේ ඒ සතුටෙන්

පාප් වහන්සේ ලංකාවට ආව වෙලාවේ ‘‘මේ මගේ මුල් ගුරුතුමා’’ කියලා මාව පාප් වහන්සේටත් හඳුන්වලා දුන්නා

කාදිනල්තුමා අදටත් මාව දැක්කොත් මගේ සැප දුක් අහන්නේ අතින් අල්ලගෙන

Aruna Newspaper – සිරිල් එඬේරමුල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *