පිපිරීම් වලින් දැනට 138ක් මරුට, 402ක් තුවාලයි..

Sharing is caring!

අද(21) උදෑසන කොළඹ ඇතුළු දිවයිනේ ස්ථාන 06ක සිදුවූ පිපිරීම්වලින් මේ වන විට පුද්ගලයින් 138 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 402 කු තුවාල ලබා ඇතැයි කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ අනිල් ජාසිංහ මහතා පවසයි.

මේ මොහොතේ කොළඹ, ජාතික රෝහලේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂවරයා මේ බව පැවසීය.

අද පෙරවරු 8.45ට පමණ මෙම පිපිරීම් සිදුව තිබුණි.

කොටහේන කොච්චිකඩේ දේවස්ථානය, කටාන කටුවපිටිය දේවස්ථානය සහ මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථානයක පිපිරීම් සිදුවු අතර එම අවස්ථාවේ පාස්කු ඉරිදා දේව මෙහෙයන් සදහා විශාල පිරිසක් එම දේවස්ථානවලට පැමිණ සිටි බව අද දෙරණ වාර්තාකරුවන් සදහන් කළා.

එමෙන්ම අද පෙරවරුවේම කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ෂ්‍රැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හා කින්ස්බරි යන සුපිරි හෝටල් 03ක ද පිපිරීම් සිදුවිය.

මිය ගිය අය පිරිස් අතර, දෙස් විදෙස් පුද්ගලයින් රැසක් සිටින බව ද අධ්‍යක්ෂවරයා පැවසීය.

එම පිපිරීම්වලින් පුද්ගලයින් 243කට අධික පිරිසක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

ඉන් පුද්ගලයින් 42 ක් මිය ගොස් ඇති අතර, 201 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර ලබයි.

මේ අතර කටාන කටුවපිටිය දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 62 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 110 දෙනෙකු පමණ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව ද අධ්‍යක්ෂවරයා පැවසීය.

මඩකලපුව දේවස්ථානයේ සිදුවු පිපිරීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබේ.

පුද්ගලයින් 67 දෙනෙකු මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව අනිල් ජාසිංහ මහතා පැවසීය.

මේ අතර, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ඇතුළත් කළ පිරිසෙන් පුද්ගලයින් 7 ක් මිය ගොස් තිබේ.

එහි පුද්ගලයින් 24 ක් තුවාල ලබා සිටින බව ද පැවසෙයි.

 

adaderana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *