පිරමීඩ පරයන මහා අබිරහස ‘පූමාපුංකු’

1967 වසරේ ජූලි 20 වැනිදා, ගගනගාමී නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රීන් ඉතිහාසයට එක් වූයේ සඳ මත පය තැබූ පළමු මිනිසුන් හැටියටය. නීල් ආම්ස්ට්‍රෝං සඳ තරණය කිරීම, පිටසක්වළ ජීවීන් පිරිසක් ඔවුන් නොදන්නා වෙනත් ලොවකට පය තැබුවා හා සමානය. සඳට යෑම කරන්න බැරි දෙයක් යැයි සිතූ කාලයක් තිබුණ ද අවසානයේ සඳ ජය ගැනීමට තාක්ෂණයටත් විද්‍යාවටත් හැකිවිය.

අහස ජය ගෙන, රොකට් නිර්මාණය කරමින් සඳට යන්න මිනිසාට හැකිවූයේ නම්, විශ්වයේ වෙනත් ග‍්‍රහලෝකවල සිටින තාක්ෂණයෙන් පරතෙරට ගිය බුද්ධිමත් ජීවීන් පෘථිවියට එන්න බැරි කමක් නැහැ යන්න බොහෝ දෙනාගේ සිත්වලට නැගෙන ප‍්‍රශ්නයකි.

පුරාණයේ පිටසක්වළ ජීවීන් පෘථිවියට ඇවිත් මානව ඉතිහාසයේ වෙනසක් ඇති කළ බව පෙන්වන්න පුළුවන් සාක්ෂි තිබෙන්නේ කෞතුක වස්තු, ලෙන් චිත‍්‍ර, කැටයම්, මූර්ති ඇති බව පවසන විද්‍යාඥයෝ පිරිසක් ද වෙති. මොවුන්ගේ විශ්වාසය නම්, පිටසක්වළ ජීවීන් නිරන්තරයෙන් පෘථිවිය සමඟ සබඳතා පවත්වන බවය. ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, ඇමෙරිකාවේ නාසා ආයතනය ඒ බව ලොවෙන් වසං කරනවා කියාය.

පුරාණ මිනිසා සහ පුරාණ සංස්කෘතීන් බිහිවන්න, ඒවා දියුණුවෙන් දියුණුවට පත් වෙන්න පිටසක්වළින් පැමිණි අමුත්තන්ගේ උදව් ලැබුණා වෙන්න පුළුවන් යැයි අතිශය ජනප්‍රිය ‘චැරියට්ස් ඔෆ් ද ගෝඩ්‍ස්’ නම් ග‍්‍රන්ථය රචනා කළ එරික් වොන්ඩයිකන් පෙන්වා දෙයි.

පුරාණයේ පිටසක්වළ ජීවීන්ගේ ආගමනය ගැන සාක්ෂි සොයමින් යද්දී එරික් වොන්ඩැනිකන් සෑම ගල් පිළිමයක් හා ස්මාරකයක් ගැනම සොයා බැලුවේය. ඔහු ඔහුගේ තර්ක ඉදිරිපත් කරන්නේ සාධක දෙකක් පදනම් කර ගනිමිනි. පළමු සාධකය සාහිත්‍යය, මිථ්‍යා කතා, පුරාවිද්‍යාත්මක තොරතුරු ආදියයි. දෙවැනි සාධකය දකින්න හා අතගා බලන්න පුළුවන් වස්තූන්ය. ඊජිප්තුවේ මිසර පිරමීඩ ඒ අතරින් කැපී පෙනෙයි. කෙසේ නමුත් පිරමීඩ පරයන ආකාරයේ මහා අභිරහසක්, බොලිවියාවේ සැඟවී තිබී හමුවිය. ඒ, පූමාපුංකු ය.

පූමාපුංකු යනු ලතින් ඇමෙරිකාවට අයත් රාජ්‍යයක් වන බොලිවියාවේ, ඉපැරණි ටියවනාකා නගරයට සැතපුම් කිහිපයක් නුදුරින් ඇති පූජනීය නගරයකි. පූමාපුංකු හඳුන්වා දීමට පෙර, ටියවනාකා ගැන විග‍්‍රහයක් කළ යුතු වෙයි. ටියවනාකා අද සංචාරක ආකර්ෂණයකි. මෙහි නටබුන්වී ගිය ගල් කණු, ගල් බැමි, ගල් පිළිම සහ කැටයම් දකින්නට ලැබේ.

මේවා වසර 7,000කට වඩා පැරැණි බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. ඇතැම්විට ලොව පැරැණිතම නගරය ද ටියවනාකා විය හැකි බවට මතකයක් පවතී. ටියවනාකා නටබුන්, පාස්කු දූපතේ මෝයි ගල් පිළිමවලට සමානකමක් දක්වයි. එය පුදුමාකාරය. එපමණක් ද නොව, ටියවනාකා නගරයේ දකින්න ලැබෙන නිර්මාණවල ලක්ෂණ ලෝකයේ අනෙක් පුරාණ සංස්කෘතීන්වලත් දකින්න ලැබේ.

ටියවනාකා නටබුන් පුරයට සැතපුම් කිහිපයක් ඇති පූමාපුංකු සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනා ගන්නා තැනක් නොවේ. කෙසේ නමුත් ටියවනාකාට වඩා අපූරු තැන වන්නේ මෙතැනය. පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන විද්‍යාඥයන්ගේ අවධානය දිනා ගැනීමට පූමාපුංකු ගල් කැටයම් සමත් වී තිබේ. පූමාපුංකු පිරමීඩවලටත් වඩා අබිරහසක් යැයි පෙන්වා දෙන්නේ ඔවුන්ය.

පුරාණයේ පිටසක්වළ ජීවීන් මෙහි පැමිණි බවට ඇති ප‍්‍රහේලිකාවේ ඉතා වැදගත්ම කොටසක් හැටියට බොලීවියා කඳුකරයේ පිහිටි පූමාපුංකු නුවර නටබුන් සැලකෙයි. වාස්තු විද්‍යාවේ බලමහිමය පෙන්වන හාස්කමක් ලෙස සැලකෙන ගීසාහි පිරමීඩ පවා පූමාපුංකු නටබුන් හමුවේ පුංචි ළමයකු තැනූ සෙල්ලම් ගෙයක් හා සමානයි විද්‍යාඥයෝ කියති. ලොව දකින්න ලැබෙන අනෙක් අබිරහස් පරයන්නට ද පූමාපුංකු නටබුන් සමත්වී තිබෙන බවට සැකයක් නැති බව පැවැසෙයි.

මොකක්ද මේ අබිරහස? අබිරහස නම් පූමාපුංකු ඉදිකිරීම සිදුවුණේ කෙසේදැයි යන්න පැහැදිලි කිරීමට විද්‍යාඥයන්ට නොහැකි වීමය. අද දකින්න ලැබෙන්නේ නටබුන් වූ මහා ගල් කණුය. දැවැන්ත ගල් කුට්ටි පවා තැන තැන දකින්නට ලැබේ. පෙනෙන විදියට, මොකක් නමුත් මහා බලවේගයකින් ඒවා කැබැලි කර දමා තිබේ.

පූමාපුංකු නගරයේ දකින්න ලැබෙන ගල් කුට්ටි ඉතා නිවැරදිව හා ඉතා සූක්ෂමව කපා වෙන් කර තිබීම සුවිශේෂත්වයකි. ඒවා ඉතාම නිවැරදි ආකාරයෙන් එකිනෙක හා සම්බන්ධ වී තිබේ. කැබැලි වී වෙන්වුණු ඒවා පවා සම්බන්ධ කළ හැකිය. අද වෙන් වෙන්ව තිබුණත් අතීතයේ ඒවා ඉතා හොඳින් එකිනෙකට සම්බන්ධ වී තිබෙන්න ඇතැයි පැවැසෙයි. මේ නගරයට කිට්ටුම ගල්වළ ඇත්තේ සැතපුම් 7,000ක් දුරිනි. මෙහි ඇති අති දැවැන්ත ගල් කණු, ගල් කුට්ටි සැතපුම් ගණනක් දුර ඇති මේ නගරයට ගෙනාවේ කෙසේදැයි යන්න අබිරහසකි.

පූමාපුංකු නගරයේ පළමු අබිරහස මෙයයි. පූමාපුංකු නගරය පිහිටන්නේ මුහුදු මට්ටමෙන් අඩි 4,000ක් උසකිනි. අවට කොහේවත් ගස් දකින්න ලැබෙන්නේ නැත. එසේ නම්, ගල් කුට්ටි ගස් කඳන් මත තබාගෙන තල්ලු කරගෙන ආවා විය නොහැකිය. පූමාපුංකු පිහිටි ප‍්‍රදේශය අවට දකින්න ලැබෙන්නේ අඳුරු පැහැති පඳුරු හා තණකොළ පමණි.

පුරාවිද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පූමාපුංකු පූජනීය නගරය නිර්මාණය කළේ ‘අයිමාරා’ ඉන්දියානු ගෝත්‍රිකයන් කියාය. මෙවැනි මහා පරිමාණයේ නිර්මාණ කිරීමට නම් සැලසුම් සකස් කළ යුතු වෙයි. සැලසුම් ඇඳිය යුතු වෙයි. එවැන්නක් නොකර මෙවැනි නිර්මාණයක් සූක්ෂමව කළ නොහැකිය. ගල් කුට්ටි එකිනෙක සම්බන්ධ කළ යුතු වන්නේ කුමන විදියටදැයි මූලික අවබෝධයක් නැතිව මෙවැනි නිර්මාණයක් කළේ කෙසේද? ‘අයිමාරා’ ගෝත්‍රිකයන්ට එවැනි දැනුමක් තිබුණා ද? ලොව ප‍්‍රධාන පෙළේ පුරාවිද්‍යාඥයන් සැවොම, අවිවාදයෙන් යුතුව පිළිගන්නා කරුණක් වන්නේ, අයිමාරා ඉන්දියානුවන්ට දියුණු තාක්ෂණයක් නොතිබුණු බවය. ඔවුහු ඉතා ප‍්‍රාථමික ගෝත්‍රික පිරිසක් වූහ.

පිටසක්වළ අමුත්තන් ගැන විශ්වාස කරන විද්‍යාඥයන්, පූමාපුංකු සහ ටියවනාකා නටබුන් වෙත අවධානය යොමු කරන්නේ ඒවායේ ඇති ගුප්ත බව නිසාම නොවෙයි, ඒ දැවැන්ත ගල් කුට්ටි ඔවුන් පුදුම කිරීමට සමත්ව ඇති නිසාය. කළු පැහැයෙන් යුත් එම ගල් කුට්ටි කපා නිසි ලෙස සකස් කිරීමට, යම්කිසි යන්ත‍්‍ර සූත‍්‍ර භාවිතයක් සිදුවුණැයි බැලූ බැල්මට පෙනෙයි.

එක් ගල් කුට්ටියක් ටොන් 800ක් පමණ බරය. ඇතැම් ගල් කුට්ටි ඔප දමා ඇත. ඒවා ඉතා සියුම් ලෙස කපා වෙන් කර තිබෙන බව පැහැදිලිය. අයිමාරා ඉන්දියානුවන්ට ගල් යුගයේ ආයුධ (එනම් ගල් කටු හා මිටි) භාවිත කරමින් මෙවැනි නිර්මාණයක් කිසිසේත් කළ නොහැකිය. මේ ගල් කුට්ටිවල කපා ඇති රේඛා ඉතා නිවැරදිව ඍජුව පවතී. එක් කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා එම රේඛාවල ඇති ගැඹුර එක සමානය.

පූමාපුංකු නගරය නිර්මාණය කිරීමට යොද‌ාගෙන තිබෙන්නේ පිරමීඩවලට යොදා ගත් ආකාරයේ හුණු ගල් නොවෙයි. ග‍්‍රැනයිට් සහ ඩයරයිට් පාෂාණ ය.

මේ අතරින්, ඩයරයිට් පාෂාණ කැපී පෙනෙයි. ශක්තියෙන් ‘ඩයරයිට්’ පාෂාණ දෙවැනි වන්නේ දියමන්තිවලට පමණක් යැයි ද පැවැසෙයි. එහෙයින්, මේ පාෂාණ මේ ආකාරයට කපා සකස් කරන්න යොදා ගත් ආයුධ දියමන්තිවලින් සකස් කර තිබිය යුතු වෙයි. වර්තමාන ඉදිකිරීම් කරුවන් පවා පවසා පෙන්වා දෙන අන්දමට, අද තිබෙන නවීන තාක්ෂණික උපකරණ යොදා ගෙන පවා පූමාපුංකු නටබුන් නැවත ප‍්‍රතිනිර්මාණය කිරීමට නොහැකි බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *