පුංචි කා‍ලේ මුලින්ම රඟපාන්න ගිහින් කැමරාව ඉස්සරහ ඇඹරි ඇඹරී හිටියා

ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය “ඝරසරප” මේ දිනවල තිරගතවේ. එහි ප්‍රධාන පිරිමි භූමිකාව වන්නේ “සඳරැස්” ය. සඳරැස්ගේ  වැඩිහිටි අවධිය ප්‍රවීණ රංගන ශිල්පී “කමල් අද්දරආරච්චි” විසින් නිරූපණය කරන අතර සඳරැස්ගේ නවයොවුන් විය නිරූපණය කරමින් තවත් යොවුන් නළුවකු සිය රංගන දිවියේ නවතම කඩඉමක් පසුකරයි. බාල වියෙහිදීම ළමා නළුවකු ලෙස රංගනයට පිවිසි ඔහු වැඩිහිටි චරිතයක් සඳහා එක්වන ප්‍රථම අවස්ථාව මෙයයි. ඔහු “දෙවුනක ‍පෝරගේ”ය. මෙවර  පිළිසඳරට  අප එකතු කරගන්නේ “දෙවුනක”වය.

දෙවුනකට කලාව උරුමවුණේ පවුල් පසුබිම තුළින්ම නේද..?

ඔව් .. මගේ නැන්දා තමයි නිමන්ති ‍පෝරගේ.. මාමා ප්‍රභාත් රෝෂණ.. පුංචි කා‍ලේ ඉඳන්ම කලාව මට නුහුරුවුණේ නෑ..

“ඝරසරප” සඳහා අවස්ථාව ලැබුණේ කොහොමද ?

මාමා තමයි “ඝරසරප” චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා.. “සඳරැස්” ගේ නවයොවුන් අවධියට නළුවෙක් තෝරනකොට මාමා තමයි “ජයන්ත චන්ද්‍රසිරි” මහතාට මාව ඉදිරිපත් කළේ. මගේ ඡායාරූපයක් බලලා ජයන්ත චන්ද්‍රසිරි මහතා මාව තිර පරික්ෂණයකට කැඳෙව්වා. එදා ඒ පරික්ෂණයට කාවින්ද්‍යාත් ඇවිත් හිටියා.. ඒ පරික්ෂණයෙන් පස්සේ අපි දෙන්නව “සඳරැස්” සහ “දිව්‍යා” කියන චරිත සඳහා තෝරාගත්තා.

දෙවුනකට රඟපෑම නුහුරු දෙයක් ‍නෙවෙයිනේ .. ?

නැහැ.. මම රඟපාන්න ආවේ වයස අවුරුදු 7දි..

පවුල් පසුබිම තුළින්ම කලාවට සමීප බවක් තිබුණ හින්දා නළුවෙකු වෙන හීනය පුංචිකා‍ලේ ඉඳන්ම දෙවුනකගේ හිතේ තිබුණාද.. ?

කලාවට ආසාව පුංචි කා‍ලේ ඉඳන් තිබුණා. ඒත් රඟපාන්න යන්න ඕන කියලා නම් හිතුවේ නැහැ.. ඒ දවස්වල මම ටිකක් ලැජ්ජාශීලී චරිතයක්..

එතකොට නළුවකු වුණේ..?

ගෙදරදී මම මයිකල් ජැක්සන් විදියට නටනවා.. බලපු චිත්‍රපටිවල කොටස් රඟපාලා පෙන්නනවා.. හැබැයි එහෙම කරන්නේ ගෙදර අයට පෙනෙන්න විතරයි.. මගේ ඒ හැකියාවන් දැකල නැන්දා තමයි මාව වෙළඳ දැන්වීමකට යොමුකළේ.. එතකොට මට වයස  අවුරුදු 7 ක් විතර ඇති.

එදා ඒ අවස්ථාවට සාර්ථකව මුහුණ දුන්නද …. ?

නැහැ.. මට රඟපාන්න ගියාට එදා රඟපාන්න බැරිවුණා.. කැමරාව ඉස්සරහට ගිහිල්ලා  ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි හිටියා මිසක්  රඟපෑවේ නැහැ..

ඊට පස්සේ.. ?

ඊට පස්සේ මට රඟපාන්න අවස්ථාවක් ලැබුණේ “පිටසක්වල කුමාරයයි පැංචො හතයි” චිත්‍රපටයෙන්.. එදා “ස්ක්‍රීන් ටෙස්ට්” එකට (තිර පරික්ෂණයට) ගිහිල්ලත් මම ලැජ්ජාවෙන් තමයි හිටියේ.. ඒත් මාව චිත්‍රපටියට තෝරාගත්තා.. ෂූටින් පටන් ගත්තට පස්සේ තමයි මගෙ සබකෝලය නැතිවෙලා ගියේ.. ඊට පස්සේ නම් දිගටම රඟපෑවා..

මොනවද ඒ නිර්මාණ .. ?

වෙළඳ දැන්වීම් 10 කට විතර පෙනී හිටියා.. “ගඟ අද්දර” ටෙලි නාට්‍යයේ “සාරංග දිසාසේකර” ගේ ළමා කාලය සහ “සිහින වසන්තයක්” ටෙලි නාට්‍යයේ “නිරෝෂන් විජේසිංහ” ගේ ළමා කාලය රඟපෑවා.. “භාර්යාවෝ” ටෙලි නාට්‍යයේත් රඟපෑවා..

කාලයක් දෙවුනක රංගනයෙන් දුරස්වෙලා හිටියා නේද .. ?

 පුංචි කා‍ලේ රඟපෑමට යොමුවුණාට ඊට පස්සේ වැඩි අවධානයක් යොමුකළේ අධ්‍යාපන කටයුතු වලට.. ඒ හින්දා තමයි රංගනයෙන් මදක් ඈත්වුණේ..

ආයෙම රංගනයට එකතුවෙන්න හිතුවේ දැන් අධ්‍යාපන කටයුතු අවසන්ද .. ?

ඔව් .. දැන් පාසැල් අධ්‍යාපනය අවසන් . ඒ හින්දා රංගනයට යොමුවන්න පුළුවනි… අනික ඉතින් මේ ලැබුණ අවස්ථාවක් සුවිශේෂ එකක්නේ.. ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ නිර්මාණයකට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණ එක ගැන මම සතුටු වනවා. ඒ හින්දා තමයි “ඝරසරප” චිත්‍රපටියට එකතු වුණේ..

දැන් දිගටම රඟපානවද?

මේ වෙද්දිත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිල තියෙනවා. ඒත් ලැබෙන හැම නිර්මාණයක්ම භාරගන්න අදහසක් නම් නෑ.. ඉඳහිට හොඳ නිර්මාණයක දෙකක විතර රඟපෑවම ඇති.

රඟපෑමට දෙවැනි තැන දෙන්නේ  වෙනත් ක්ෂේත්‍රයකට යොමුවෙලා ඉන්න හින්දද ..?

මම දැනට පෞද්ගලික ආයතනයක අලෙවි සම්බන්ධීකාරකවරයෙක් විදියට කටයුතු කරනවා.. ඒ සමගම නීතිය හදාරනවා..

ඔබේ ප්‍රථම සිනමා පෙම්වතිය ගැන කතාකළොත්..

කවී (කාවින්ද්‍යා අධිකාරි) හරිම හොඳ මිතුරියක්.. රඟපාන්න ගියාම ගොඩක් සහයෝගයෙන් අපි වැඩකළා. අදටත් කවියි මමයි හොඳ යාළුවෝ..

දෙවුනක  සැබෑ ජීවිතයෙත් ප්‍රේමවන්තයෙක්ද .. ?

දැනට නැහැ..

 ආරියවංශ කුලතිලක   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *