පෝස්ටර් වෙනුවට තාප්පවල චිත්‍ර අඳින තරුණ ගැටව්

Sharing is caring!

තාප්ප, බිත්ති, ලයිට් කණු, ගස්, ගල්වල ඇලවුණු පෝස්ටර් කටවුට් තවමත් ලංකාවට නුහුරු දසුනක් නොවේ. ඡන්ද කාලයට දේශපාලකයන්ගේ මුහුණුද, ටියුෂන් කඩකාරයන්ගේ හපන්කම්ද අරගලකරුවන්ගේ ඉල්ලීම්ද මදි නොකියන්නට තාප්ප, ගස්ගල්වල අලවා තිබේ. එහෙත් මේ පිළිවෙළ වෙනස් කරන්නට දැන් ටික කාලයක සිට අරගලකරුවන් පිරිසක් ඉදිරිපත්ව සිටී. ඒ අරගලකරුවන්ගේ සටන් බිම ​ෆේස්බුක් සමාජ ජාලයයි. ඔවුන්ගේ කාර්යභාරය පෝස්ටර් අලවා අපිළිවෙළ කළ තාප්ප බිත්ති ආදිය පිරිසුදු කර චිත්‍රවලින් සුන්දර කිරීමයි.

තාප්පබිත්ති ගොඩනැගිලි ආදියේ චිත්‍ර ඇඳීම හෙවත් ග්‍රැෆික් කලාව ලොව පුරා ජනප්‍රිය වුවද ලංකාවේ මෑතක් වනතුරු ඊට යොමුවන්නන් දැකීම දුලබ කරුණක් විය. ගාල්ල මාපලගම පාරේ නරාවලදී හමුවන දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලමෙහි පෝස්ටර් ඉවත් කර ග්‍රැෆික් චිත්‍රයක් ඇඳීමට මුල් වූයේ save nature galle team නමැති තරුණ කණ්ඩායමකි. අප්‍රේල් 21 දා, ත්‍රස්ත ප්‍රහාර එල්ලවන විටත් මේ පිරිස සිටියේ සිතුවම් අඳිමිනි. ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් දිවයිනේ නන් දෙසින් පැමිණි මේ තරුණ තරුණියන්ට විසිර යන්නට වූ නමුත් නොබෝ දිනකින්ම එය සම්පූර්ණ කරන්නට ඔවුහු සමත්ව තිබුණි.

ලංකාවේ විශාලතම ග්‍රැෆික් චිත්‍රය වත්තල හුණුපිටිය දුම්රිය හරස්මග අසල පාලමෙහි නිර්මාණය කරන්නට මුල් වූයේද ෆේස්බුක් මගින් සංවිධානය වූ Genaration Green නමැත් තරුණ එකමුතුවකි. පෝස්ටර්වලින් වැසී තිබුණු හරස් මාර්ගයේ කණු හා බිත්ති පිරිසුදු කර චිත්‍ර නිර්මාණය කරන්නට මේ කණ්ඩායම පුරා දින දෙකක් නිදිවර්ජිතව කටයුතු කර තිබුණි

පාසල් ගමන නිමා කර රැකියා කරන, විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන උසස් අධ්‍යාපනය ලබන තරුණ තරුණියෝ පිරිසක් මීට එක්වූහ. සිතුවම් ඇඳීම සිදුවූයේ නව පරපුරේ ජනප්‍රිය චිත්‍ර ශිල්පියකු වන ඩොමිනික් චන්ද්‍රසාලිගේ මූලිකත්වයෙනි. එක කෙල්ලෙකුගේ සහ කොල්ලන් කිහිප දෙනකුගේ පින්සල් පහර රළු කොන්ක්‍රීට් බිත්ති අලංකාර කළේ හරි අපූරු ලෙසය.

අලුත් විදිහට හිතන, රට ලස්සන කරන්නට වෙර දරන මේ කොල්ලන් කෙල්ලන් රැලට ලයන් ඉරංග, චමත් විජේසිංහ, දිනිනු සමරකෝන්, තරිඳු මධුරාන්, තක්ෂිලා ගිම්හානි, දුෂානි කාවින්දි, එස්.කේ. සුගන්ධිනි, චමිත් හසන්ත, චයන්කා වික්‍රමරත්න, නවීන් ධනුෂ්ක, තරිඳු කුළුණි, පසිඳු, රනීශා හා විදුෂ යන තරුණ තරුණියෝ මේ කණ්ඩායමට මූලිකත්වය දුන් අය වෙති. විල්පත්තුව සුරැකීම වෙනුවෙන් ආරම්භ කළ මෙම මිතුරු සංගමය මුලින්ම සිදු කරන්නේ මුළු පිටකොටුවම පැය 4ක් තුළ සම්පූර්ණයෙන්ම කසළින් තොර කලාපයක් බවට පත් කිරීමය.

එහෙත් මේ ලිපිය සකසන මොහොතේ අපට අසන්නට ලැබුණේ කනගාටුදායක ආරංචියකි. මේ කොල්ලන් කෙල්ලන් දිවා රෑ නොබලා නිදි නැතිව නිර්මාණය කළ චිත්‍රවලට උඩින් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයක පෝස්ටර්ද අලවා වෙනත් තීන්ත වර්ගයකින් යම් යම් දෑ ලියා ඇති බවය.

‘‘විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කියන්නෙ උසස් මනසක් තියෙන අය කියලයි අපි විශ්වාස කළේ. ඒත් මේ වගේ කලා නිර්මාණයක අගයවත් වටහා ගන්න බැරි ශිෂ්‍ය සංගම්වලින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. අපි ඉදිරි සති අන්තයේ ඒ දැන්වීම්ද ඉවත් කර චිත්‍ර පෙර පරිදිම සකසනවා. මෙවැනි දේවලින් අලුත් විදිහට හිතන අපේ කොල්ලන් කෙල්ලන්ගේ ගමන නතර කරන්න බෑ’’

Genaration Green එකමුතුවෙහි තරුණයකු අප සමග පැවසුවේය.

Aruna Newspaper – මිහිරාන් කරුණාරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *