බදුර්දීන් විපත්තුව කපන්න කලින් මැන්න හැටි මෙන්න

Sharing is caring!

විල්පත්තුවේ වන සංහාරය ගැන දැන් වසර දෙක තුනක සිට කතා වෙයි. විල්පත්තුවේ ගෙවල් තනා පදිංචියට යන ජනතාව කියන්නේ එය අතීතයේ යුද්ධයට ආරම්භ වෙන්නට කලින් කැලෑවකට තිබුණ බවයි. එහෙත් දකුණේ පිරිස් එය එසේ නොවන බව කියති. ඒ නිසා අප මීට දශක ගණනාවකට පෙර විල්පත්තුව ආශ්‍රිත ප්‍රදේශ මැනීමට ගිය මිනින්දෝරුවරු කිහිප දෙනකුගේ අත්දැකීම් මෙසේ හෙළි කරන්නේ මේ කතාබහට යම් ආලෝකයක් ලබා දීමටය.

එස්.ඩී. සේනාරත්න තරුණ මිනින්දෝරු මහතාගේ මුල්ම පත්වීම විල්පත්තුවටය. ඒ 1966 වසරේදීය.

සේනාරත්න ප්‍රමුඛ මිනින්දෝරු කණ්ඩායම කඳවුරු බැඳ ගත්තේ සිලාවතුර ප්‍රදේශයෙන් පහළ විල්පත්තුව මහ කැලයට උතුරිනි. ඒ ‘‘කොණ්ඩච්චිය’’ නම් ග්‍රාමයේය. මිනින්දෝරු මහතාගේ කඳවුරත්, කම්කරු කණ්ඩායමේ කඳවුරත් පිහිටියේ එකිනෙකට ළඟිනි. මෙම කූඩාරම් පසෙක වූයේ ආරකි. ආර යනු ඇළ හෝ දොළ හැඳින්වීමට යෙදුණු දෙමළ වචනයකි. මෙය ද්‍රවිඩ ජාතික මිනින්දෝරුවරුන් විසින් මිනින්දෝරු පිඹුරු මත පුන පුනා සටහන් කෙරුණකි. ඒ පිඹුරු එකල සියල්ල සැකසුණේ ඉංග්‍රීසි භාෂාවෙනි.

කූඩාරම් තැනීම සඳහා වහලට භාවිත කළ කැන්වස් රෙද්ද හා පොළොවට ඇතිරීම සඳහා සිමෙන්ති කොට්ට දෙකක් සමග කඳවුර වටකොට ඇසිරීම සඳහා තල්කොළ මිටි දෙකක් කොන්ඩච්චියට ආවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයෙනි. කූඩාරම අපූරුවට තැනුණේ මිනින්දෝරු කණ්ඩායමේ සිටි කම්කරුවකු වූ ‘‘වල්ලිකාමම්’’ ගේ දෑතිනි. වල්ලිකාමම් කඳවුරු තැනීම සඳහා උපන් හපනෙකි. මිනින්දෝරු මහතාගේ කඳවුර ඉස්තෝප්පුවක්, සාලයක් සහ නිදන කාමරයකින් සමන්විත විය. පිඹුරු පෙට්ටි දෙක, අකුලා දිග හැර සකස් කළ හැකි කඳවුරු මේසය, ඇඳ, පුටු, මදුරු දැල්, ලන්තෑරම් සහ මැනුම් කණ්ණාඩියද කඳවුරේ අත්‍යවශ්‍ය උපකරණ අතර වීය. අනෙක් මැනුම් අංගෝපාංග ගබඩා ගතවූයේ කම්කරු කණ්ඩායම සිටි කඳවුර තුළය.
‘‘අපේ සේවකයෝ කෑම්ප් ගහන්න ලී දඬු කැපුවෙ, එක ගහකින් එක ලී දණ්ඩ බැගින් ගස් පිටින් බිම දැම්මේ නෑ. අපිට හෙවණ දුන්නෙ ඒ ගහ කොළ….!’’ හැත්තෑහත් වැනි විය පසු කරමින් මාතර දිස්ත්‍රික්කයේ මිරිස්ස ප්‍රදේශයේ දිවි ගෙවන එස්.ඩී. සේනාරත්න මහතා අද ද සිහි කරන්නේය. මිරිස්ස ඔහුගේ නිජබිමය.

තරුණ මිනින්දෝරු මහතාගේ පළමු රාජකාරිය වූයේ ගුවන් ඡායාරූපයක් මත වූ ‘‘ලක්ෂ්‍යයක්’’ කරා පොළොවෙන් ළඟා වී හඳුනාගැනීමය. ඡායාරූපය මත වූ එම ලක්ෂ්‍යය පිහිටා තිබුණේ විල්ලුව මැදය. මිනින්දෝරු මහතාටත්, කම්කරු කණ්ඩායමටත් එම ලක්ෂය සොයා යාමට කැලය ඔස්සේ සැතපුම් 14ක් 15ක් යා යුතු විය. අලි, කොටි, වළස් ගහනය පිරි කැලය තුළට ඇවිද යාම අවදානම් සහගත කාර්යයකි. මිනින්දෝරු කණ්ඩායම සඳහා ෂිකාරේ කෙනෙක්ද විය. ෂිකාරේ යනු හින්දි වචනයකි. එහි අරුත වනුයේ වෙඩික්කරු යන්නය. මෙම ෂිකාරේ මිනින්දෝරු කණ්ඩායම සඳහා තෝරා ගැනෙනුයේ කඳවුරු බඳින ගම්මානයකිනි. ගමේ නමගිය දක්ෂ වෙඩික්කරුවකු විය යුතු මේ පුද්ගලයාට දෛනික වැටුප් ලැබෙනුයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙනි.
ඒ වන විටත් විල්පත්තු රක්ෂිතය මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් මායිම්ගල් පොළොවේ පිහිටුවා වෙන් කර තිබුණි. ඒ අනුව ගමත්, කැලයත් වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමට හැකිය. විල්පත්තුව පිළිබඳව දකුණේ ජනයා අතර ඇති වී ඇති ‘‘ඇවිස්සීම’’ පිළිබඳව සාවධානව මෙනෙහි කළ යුතු වන්නේය. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු සේම මෙහි නියම අරුත වටහා දීමට බලය ඇති පාලකයන් කිසි විටෙකත් උත්සාහ ගන්නා පාටක් නොමැත. තවත් විදිහකටත් කියන්නේ නම් ඇවිලී යාමට ඉඩදී බලා සිටින්නේය. විල්පත්තුව ආශ්‍රිත මුස්ලිම් ජනයා පදිංචි වී ඇති ඇතැම් ගම්මාන මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් මායිම් ගල් දමා ගම්මාන බවට පත් කර ඇති පුද්ගලික ඉඩම්ය. එලෙස පිඹුරු සකසා ඇත්තේ මීට දශක ගණනාවකට පෙර බව එම පිඹුරු පුද්ගලිකව පරීක්ෂා කළ මෙම ලියුම්කරුට ද අත්දැකීම් ඇත්තේය.

කොණ්ඩච්චිය ගමේ සිටියේ මුස්ලිම් ජාතිකයෝය. ගමේ නිවාස සියල්ල කටුමැටි ගැසූ ඒවාය. ඒවා කඑම ආකාරයකට රවුම් හැඩයකට පිහිටා තිබුණේය. ගමේ නමගිය වෙඩික්කරුවා වූයේ ‘‘ඊඩර් පොංගලම්’’ය.

සේනාරත්න තරුණ මිනින්දෝරු මහතාගේ කණ්ඩායමේ මැනුම් ඕවර්සියර් වූයේ කේ.පී. ඩේවිඩ්ය. නිතරම මිනින්දෝරු මහතා ඉදිරියේ කන් කෙඳිරි ගෑයේ ෂිකාරේ කෙනකු ඉල්ලමිනි.

‘‘සර්..‘ ෂිකාරේ නැතුව මෙතැන ඉන්න බෑ. උදේට නැගිටලා වැසිකිළියට යන්න බයයි. රෑට එහාට මෙහාට යන්න බෑ. කොයි වෙලේ වළහා පනීද. කොටියා පනීද දන්නේ නෑ.
එස්.ඩී. සේනාරත්න තරුණ මිනින්දෝරු මහතාට ‘‘ෂිකාරේ’‘ බඳවා ගැනීමට අවසර ලැබීම එන්න එන්නම ප්‍රමාද වන්නේය. තරුණ මිනින්දෝරු මහතාට නහුතයකට කේන්ති ගියේය. තරුණ මිනින්දෝරු මහතාගේ බොස් වූයේ සහකාර මිනින්දෝරු අධිකාරී වල්ලිපුරනාදන් මහතාය.

‘‘සර් ෂිකාරේ නැතුව අපි කොහොමද මේ කෑම්ප් එකේ ඉන්නේ? මම දැන් කෑම්ප් එකේ නෙවෙයි ඉන්නේ. දඩ මැස්සෙ.’’ තරුණ මිනින්දෝරු මහතා රාජ්‍ය සේවයේ ‘අද නෙවෙයි හෙට’ පාඨයට වෙඩි පත්තු කළේය.

ලොකු ගසක අත්තක් මත හරහට ලී කඳන්වලින් බැඳි මැස්ස ‘‘දඩ මැස්ස’’ විය. ඒ එහි සිට දඩයමට නිසි ඉලක්කය ගත හැකි බැවිනි.

ෂිකාරේ ලැබෙන තෙක් සෙනේ නිකං හිටියේ නැත. සෙනේ තුවක්කුවට අත හුරු කර ගත්තේය. තරුණ මිනින්දෝරු මහතාගේ කම්කරු කණ්ඩායමේ සිටි මොහොට්ටිහාමි තුවක්කුවේ සියලු ශිල්ප ප්‍රගුණ කළ කෙනෙකි. මොහොට්ටිහාමි සිය තරුණ ස්වාමියාට දින දෙකක් තුනක් ඇතුළත තුවක්කු ශිල්පය අත්පොත් තැබුවේය. තුවක්කුවේ ඉලක්කය අල්ලන මැස්සාගෙන් බලා, කොකා ගැස්සූ තරුණ මිනින්දෝරු මහතා විල්පත්තු අහසේ පියාසර කළ කෑදැත්තකුට ඉලක්ක ඇල්ලුවේය. ‘‘ගිරිදිල්ල’’ වල්ලකට ඉලක්ක කර බිම දැම්මේය.

ඊඩර් පොංගලම් සිය ෂිකාරේ ලෙසට බඳවා ගැනීමට තරුණ මිනින්දෝරු මහතාට අවසර ලැබුණේය.

ඊඩර් පොංගලම් අඩි 6ක් පමණ උසැති පතෝල කරලක් සේ සිහින් ශක්තිමත් අැඟක් සහිත වූවෙකි. තලප්පාවක් හිස මත බැඳ සිටි ඔහු උඩුකයට අත්කොට මේස් බැනියමක් හැඳ සිටියේය. කළු කැන්වස් රෙද්දෙන් තැනූ බඳ පටියක් ඉණ පැලඳ සිටි අතර එහි හීන් කුස්තුර කිහිපයකි. ඒ ‘‘කැට පතොරොම්’’ බහැලීමටය. සරම කැසපට ගසා සිටි ඔහුට ඉදිකටුවක් වුව හැපී ඇඹරී යන තරමට ඝන වූ දෙපතුලක් තිබිණ.

පසුදා උදෑසනම මිනින්දෝරු කණ්ඩායම එකී ගුවන් ලක්ෂ්‍යය සොයා යා යුතු බැවින් එළිවෙන ජාමයේම ගමකට අවශ්‍ය කෑමබීම සරිකර ගැනීමට කම්කරු කණ්ඩායම යුහුසුළු වූහ. අලුයම 5 වන විට ම මිනින්දෝරු කණ්ඩායමට ගැමියකුගෙන් ත්‍යාගයක් ලෙස ලේ පෙරෙන ගෝන මස් කුට්ටි දෙකක්ද ලැබිණ. ඒ කිච්චෙන් නමැති ගැමියාගෙනි. ඔහු හොඳ දඩයම්කරුවෙකි.

ගමේ නිවාස 15කි. මිනින්දෝරු කණ්ඩායමේ කූඩාරම් 2කි. ඒ අනුව දඩගෝනා කොටස් 17කට කපන ලදී. ඉන්පසුව කිච්චෙන් විසින්ම මේ දඩමස් කොටස් 17 ගම තුළ බෙදා හැරියේය. මෙය එකල ඒ ගමේ හැඳින්වූයේ ගම විසින් පව් බෙදා ගැනීම ලෙසටය. මේ අනුව ගෝන දඩයමෙන් සිදුවූ පවෙන් දාහතෙන් පංගුවක් කිච්චෙන් විසින් තරුණ මිනින්දෝරු මහතාට අත්පත් කර දුන්නේය.

‘‘පවෙන් දාහතෙන් පංගුවක් මටත් ලැබුණා…’’ සෙනේ අදටත් සිනාසෙමින් මතක් කරන්නේය.

මිනින්දෝරු කඳවුරේ කම්කරු වූයේ සයිමන්ය. කඳවුරු කම්කරු යනු මිනින්දෝරු මහතාගේ ආවතේව සඳහා ලැබෙන කම්කරුවෙකි. සයිමන් ගාල්ලෙන් පැමිණ යාපනයෙන් කසාද බැඳ යාපනයේම පදිංචි වී සිටියෙකි. සයිමන් ඉවුම් පිහුම් කිරීමට ගජ හපනෙකි. සයිමන් ළිපේ පැසෙන මස් හොද්දට කහ මිරිස් තුනපහට අමතරව ගංජා ස්වල්පයක් ද එක් කළේය. ඒ වස විස නැසීමටය. කොහොමත් මිනින්දෝරු කඳවුරක ගංජා රාත්තලක්වත් වූයේ කෑම පිසීමටය. සයිමන්ගේ මස් හොද්ද පැසෙන විට පළාතම සුවඳවත් වෙයි. ඉතිරි වූ මස් කොටස පසු දිනට ආහාරය සඳහා තබා ගැනේ. ඒ ගමේ මිනිස්සු එයට කියනුයේ ඌරල් වෙන්න තිබ්බා යනුවෙනි.

උදෑසනම මිනින්දෝරු කණ්ඩායම ගුවන් ලක්ෂ්‍යය සොයා ගමන් ඇරඹූහ. මිනින්දෝරු මහතා හැරුණු විට ෂිකාරේ සහ තවත් කම්කරුවන් අට දෙනෙකි. මැනුම් උපකරණ හා කෑමබීම දැමූ තල්කොළ පෙට්ටිය කරේ තබාගෙන යාමට තරම් මොවුනට බූරු පිටක් වීය. බඩගිනි වූ විට කටේ මැස්සෙක් වැහුවද කට වසා ගැනීමට තරම් ඌරු කටක් මොවුනට වීය. එලෙසම සැතපුම් ගණනාවක් ඇවිද යාමට අශ්ව කකුල්ද දුර ඈත විනිවිද පෙනීමට මොනර ඇස්ද මොවුනට වීය.

දහවල් වනවිට මිනින්දෝරු කණ්ඩායම තමන් සොයා ආ ගුවන් මැනුම් ලක්ෂ්‍යයට ළඟා වූහ. මැනුම් කටයුතු අවසන් වීමෙන් පසුව දවල් ආහාරය ගලක් මතදී සප්පායම් කර ගත් කණ්ඩායම සතුටු සාමීචියේ යෙදුණහ.

‘‘අන්න… අන්න… කොටියා…’’

මිනින්දෝරු කණ්ඩායමේ කාගේ හෝ මොනර ඇස් විවර වී තිබිණ.

ෂිකාරේ කොටියා දෙසට තුවක්කුව එල්ල කළේය. සැණෙකින් මේ කොටියා ෂිකාරේ විසින් හඳුනා ගත්තේය. මිනිස් බිලි රාශියක් ඒ වන විට රැගෙන සිටි කොටියා මිනින්දෝරු කණ්ඩායමටද කුරුමාණම් ඇල්ලුවේය.

‘‘වාංගු කරපං ඊඩර්… වාංගු කරපං…’’කම්කරුවකු කෑ ගැසීය.

ෂිකාරේ සිය ගිනි අවිය සට පට ගා අත පත ගා කොටියා දෙසට එල්ල කළේය.
‘‘එපා මිනිහෝ…’’ තරුණ මිනින්දෝරු මහතා හරස් කැපුවේය.

‘‘සර්… එනපොට හරි නෑ.. ගහට නගිමු…’’

අසල වූ ගසකට මිනින්දෝරු කණ්ඩායම බඩ ගෑහ. මිනින්දෝරු මහතා එක් අත්තක් මතය. ෂිකාරේ ද ඒ අත්ත මතය. කම්කරු කණ්ඩායම තවත් අතු දෙකක් මතය.

‘‘සර්… මූ ගහට නගීවි…’’

කියූ ලෙසට ම මිනීමරු කොටියා සිය දෙඅත් ගස මත තැබීය. ෂිකාරේ වහා ක්‍රියාත්මක වීය.

‘‘ඩෝං,’‘ යන ශබ්දයෙන් මුළු වනයම දෙදරුම් කෑයේය. මිනීමරු කොටියා ලේ පෙරාගෙනම බිම දඟලා නිසොල්මන් වීය.

මිනින්දෝරු කණ්ඩායම ගසෙන් බිමට බැස්සාහ. මිනින්දෝරුවරු කොයි එකටත් ‘‘
මිමි’’ ගත්තාහ. කොටි මළ සිරුර ළඟ තැබූ එකිනෙකට වෙනස් වූ ගස් තුනක ‘‘කරු’’ කැපූහ. මළ සිරුරේ සිට එම ගස් තුරෙනහි අර කැපූ ‘‘කරු’’ වලට හෙවත් ‘‘කට්ට සලකුණු’’ වලට ‘මිමි’’ ගත්තාහ.

මේ මිනීමරු කොටියා වෙඩි තබා මරා දමන ලෙසට මන්නාරම සහකාර ආණ්ඩුවේ ඒජන්ත තැන විසින් දැන්වීම් නිකුත් කර තිබුණෙකි. පසුව ඒ සඳහා වූ ත්‍යාගය ඊඩර් පොංගලම් විසින් ලබා ගන්නා ලදී.

එස්.ඩී. සේනාරත්න මහතාගේ මිනින්දෝරු ජීවිතය තුළ වන අලි දැක ඕනෑ තරම් ගස් නැග ඇත. එය කෙසේ වෙතත් වරක් ගමක පෙරහරක එන අලි දුටු සේනාරත්න මහතා ගසක් සෙව්වේ පුරුද්දට ගස් නැගීමටය. එතරම් ඔහුගේ ජීවිතය තුළ අලි සහ ගස් නැගීමට, මැනීමට සේම නොදෙවැනි දක්ෂතාවක් පෙන්නුවේය.

මෙවැනි අත්දැකීම්වලින් සපිරි එස්.ඩී. සේනාරත්න මිනින්දෝරු මහතා දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කරමින්, යුග දිවියට එළැඹුණේ ශාන්ති සිරිවර්ධන මෙනවිය සමගය. දක්ෂ ගුරුවරියක වූ ඇය සිංහල සිනමාවේ අසහාය නිළි අනෝජා වීරසිංහ මහත්මියගේ ලොකු අක්කාය.

සේනාරත්න යුවළ දැනට දරු මුනුබුරන් පිරිවරා මිරිස්ස ප්‍ර‍දේශයේ දිවි ගෙවන්නාහ.

බලයලත් මිනින්දෝරු
සුනිල් කුසුම්සිරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *