මියගිය පුද්ගලයකුගේ රන්බඩු සොරාගත් දෙදෙනකු රක්ෂිත බන්ධනාගාරයට

Sharing is caring!

පාස්කු ඉරුදින කොච්චිකඩේ දේවස්ථානයේ බෝම්බ ප්‍රහාරයේදී මියගිය පුද්ගලයකුගේ රන්බඩු හා දුරකථනය සොරකම් කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙරළබඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (13දා) නියෝග කළාය.

මෙම නඩුවේ ප්‍රධාන සැකකරුගේ දියණිය වන දෙවැනි සැකකාරිය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

පාස්කු ඉරුදින කොච්චිකඩේ දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේදී තම පියා රෝහල්ගත කළ තැනැත්තා පියා සතුව තිබූ රුපියල් තුන් ලක්ෂ තිස් දහසක් වටිනා මුදු දෙකක් හා රන් මාලයක් ද රුපියල් හතළිස්දහසක් වටිනා දුරකථනය ද සොරාගෙන ඇතැයි වත්තල ප්‍රදේශයේ පදිංචි ග්ලෝරියා ජෝන් නැමැති පුද්ගලයා තම පොලිස් ස්ථානයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව වෙරළබඩ පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

ඔහුගෙන් ලද තොරතුරු අනුව මෙම සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගත් බවද එහිදී පළමු සැකකරු ඔහුගේ දියණියට එම භාණ්ඩ දී ඇති බවද පසුව මෙම නඩුවේ තෙවැනි සැකකරුට මෙම භාණ්ඩ විකිණීම සඳහා දී ඇති බවද කළ විමර්ශනවලදී හෙළි වූ බව වෙරළබඩ පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන් දෙදෙනා ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් සැකකාරියට ඇප දෙන ලෙසත් නියෝග කළාය.

හංසි නානායක්කාර – මව්බිම – Mawbima

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *