මුළු සතියම එක මිටට – මධුෂ් සමග කොටු වූ 31 දෙනකුගේ රුධිර…

Sharing is caring!

ශනි දින

මධුෂ් සමග කොටු වූ 31 දෙනකුගේ රුධිර පරීක්ෂණයේ ලේවල මත්ද්‍රව්‍ය තිබූ බව තහවුරු වී ඇත. මධුෂ් සමග කොටු වූ තවත් පුද්ගලයකුගේ මාතර නිවසින් අවි ආයුධ සමග හමුදා ඇඳුම් කට්ටල අත්අඩංගුවට ගන්නට යෙදුණි. මේ අතර ඤාණසාර හිමිගේ සිර දඬුවම වසර 5 කට අත්හිටවූ සිරදඬුවමක් ලෙස ලබා දීමට මහෙස්ත්‍රාත්වරයා කටයුතු කළේ ය.

ආබාධිත පොලිස් රණවිරුවන්ගේ වැටුප ජීවිත කාලය පුරාවටම ලබා දීමට තීරණය වෙද්දී විපක්ෂ නායක මහින්ද, බැංගලෝරයේ පැවැත්වෙන සමුළුවක් සඳහා ඉන්දියාව බලා පිටත් විය.

ලංසිගම මිනීමැරුම් නඩුවේ නව දෙනෙක් පෝරකයට නියම කෙරිණි.

කුජ දින

කොස්තාපල්වරයකුට පහර දීමේ සිද්ධියට එජාප මන්ත්‍රී චමින්ද විජේසිරි අත්අඩංගුවට ගැනීමට කථානායක අවසර ලැබුණි. මේ අතර කොතලාවල ආරක්ෂක පීඨයේ සිසු ප්‍රහාරයකින් තවත් සිසුහු තිදෙනෙක් රෝහල්ගත වූහ.

පෙට්‍රල් රුපියල් හයකින්ද, ඩීසල් රුපියල් හතරකින්ද ඉහළ යන්නට යෙදුණි.

පාතාල සබඳතා මගින් වස්තුව රැස් කළ දේශපාලකයන් 32 ක් ගැන අල්ලස් විමර්ශන කොමිසම පරීක්ෂණ අරඹද්දී මල්ලි ඇතුළු වී මෝල් හිමියන් ලබන ලාභය සාධාරණ නොවන බව ජනපති මෛත්‍රී පවසන්නට විය.

හොර මත්පැන් පානය කළ ඉන්දියානුවෝ 100 ක් ජීවිතක්ෂයට පත් වූ පුවතක්ද වාර්තා වෙයි.

සඳු දින

අද රාත්‍රියේ තෙල් මිල සංශෝධනය වීමට නියමිතය. රට අර්තාපල් බද්ද රුපියල් 30 කින් නංවන්නට යෙදුණු අතර වාණිජ බැංකුවල රුපියල් දහසට අඩු ඉතිරිකිරීමේ ගිණුම්වලින් රුපියල් 25 ක මාසික ගාස්තුවක් අයකර ගැනීමට යන ප්‍රවෘත්තියක්ද වාර්තා වේ.

අංගොඩ ලොක්කා නමැති පාතාලයකු ඩුබායිහිදී කොටු වී අැත. මධුෂ්ගේ ගෝලයෝ දෙදෙනෙක්ද සූරියවැවදී කොටු වූහ.

ජනපතිවරණය ජයග්‍රහණය කොට ව්‍යවස්ථාව සංශෝධනය කරන බව විපක්ෂ නායක මහින්ද ඉන්දියාවේදී පවසද්දී ජනපති මෛත්‍රී පැවසුවේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා ඡන්දය පැමිණෙන බවය.

බුධ දින

කැබිනට් ඇමැතිවරුන් 24 දෙනකුට එරෙහිව ජනපති විමර්ශනයට පැමිණිලි ලැබෙද්දී චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සොයා පොලිසිය ඌව පීරමින් මෙහෙයුම් කරන බවක් කියැවේ. කොකේන් ගහපු කැබිනට් ඇමැතිවරුන් සිටින බව රාජ්‍ය ඇමැති රන්ජන් කියයි. නි. ඇමැති බුද්ධිකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කරන බව එ්.එස්.පී. ලියනගේ පවසා ඇතැයිද වාර්තා වේ.

පාතාලයන් 50 කගේ දේපොළ රාජසන්තක කිරීමට කටයුතු කෙරෙද්දී LNG විදුලිබලාගාරය චීන සමාගමට ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි විය.

අල්ලස් කොමිසම ඇලෝසියස්ගෙන් පැය 3 ක් ප්‍රශ්න කළේ ය. ඩුබායිහිදී අත්අඩංගුවට ගත් අමල් – නදීමාල් හමුවීමට නීතිඥ උදුල් ප්‍රේමරත්නට අවසරය හිමිවිය.

කිවිදින

මධුෂ් සමග සම්බන්ධකම් පැවැත් වූ දේශපාලකයන් කිහිප දෙනකුගේ රහස් හෙළි වී ඇතැයි පැවසේ. හකීම්, රිෂාද් යන ඇමැතිවරු තම පක්ෂවලට තවත් ඇමැතිධුර එක්කර ගැනීමේ සටනකට පය තබා ඇත. ජාතික ආණ්ඩුව ගැන ආණ්ඩුවේම කඹ ඇදිල්ලක් පවතින බවක්ද සඳහන් වෙයි. ජාතික ආණ්ඩුවකට කඹ අදිද්දී පොහොට්ටු – ශ්‍රීලනිප සන්ධානයේ තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබිණි.

අයවැයෙන් ජනපතිට රු. බිලියන තුනකුත්, අගමැතිට රු. බිලියන 1 1/2 කුත් වෙන් කිරීමට යාම ගැන සාකච්ඡා වෙද්දී රේගු වර්ජනයේ පාඩුව බිලියන 5 ක් බවද වාර්තා විය.

මේ අතර ඒටීඑම් කාඩ්පත් මගින් මුදල් ලබා ගැනීමේදී සැලකිලිමත් වන ලෙස මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ගුරු දින

ඩුබායි ගිය මධුෂ් තෙවරක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව හෙළිවෙද්දී මධුෂ්, අමල් හා හිටපු ඩී.අයි.ජී නාලක අතර මිතුරු හවුලක් ගැනද වාර්තා වෙයි.

පොලිසියට භාර වූ එජාප මන්ත්‍රී චමින්දට ඇප නියම විය. බූස්සෙ අතුරුදන් වූ දෙදෙනා ගැන පරීක්ෂණ සීඅයිඩීයට භාර විය. 9 වසරේ සිසුවා උස්සා පොළොවේ ගැසූ බව කියන සිවිල් ආරක්ෂකයා තවමත් නිදැල්ලේ පසුවන බව කියයි. මේ අතර සති 6 ක කිරිකැටියකු කිරි නැතිව මිය යන්නට යෙදුණි.

ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන තමන් ඉදිරියේදී බලාගන්නා බව අර්ජුන කියයි.

කිවිදින

මධුෂ්, අමල් ඇතුළු කණ්ඩායම රිමාන්ඩ් වෙද්දී රත්ගම ප්‍රදේශයේ දෙදෙනකු අතුරුදන්වීම පිළිබඳ පොලිසියට ඇඟිල්ල දිගුවිය. මරදානේ මෝටර් රථයක තිබී රු. කෝටියක ගංජා අත්අඩංගුවට ගන්නා ලදී. මේ අතර අල්ලස් කොමිසම ඇමැති රවිගෙන් පැය 2 ක් ප්‍රශ්න කළේ ය.

කිරිපිටිවලින් ලෙඩ රෝග 21 ක් වැලඳෙන බව බුද්ධික පතිරණ නියෝජ්‍ය අැමැති කියයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසන්නේ ව්‍යවස්ථා සභාවේ ගැටලු ගැන ජනපතිගේ පෙන්වාදීම් විවේචනය කිරීමට කථානායකවරයාට නොහැකි බවයි. ව්‍යවස්ථාදායක සභාවේ හිතුවක්කාර වැඩ නිසා විනිසුරුවන්ට නිසි තනතුරු නොලැබෙන බව නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්.ඩී. සිල්වා කියයි.

තුෂාර උඩවත්ත