“රංගනය මගේ හැකියාව මිසක් රැකියාව නෙමෙයි” දිනිති කියන කතාව

සිය චිත්තාකර්ෂණීය රංගනය නිසාම මේ දිනවල අතිශය ජනප්‍රියත්වයට පත්ව සිටින හුරුබුහුටි තරුකාවක් සමග දොඩමළු‍ වෙන්න පසුගියදා අපට අවස්ථාව හිමි වුණා. ඒ වෙන කවුරුත් නොවෙයි මේ දිනවල ස්වර්ණවාහිනියෙන් විකාශය වන “සිල්ලර සමනල්ලු‍” ටෙලි සිත්තමේ නිම්මිගේ චරිතයට පණපොවන දිනිති වල්ගමගේ. එම නාට්‍යයේ රූගත කිරීම් අතරතුරදී ලැබුණු පුංචි විවේකයේදී දිනිති ඇපල්වත්තට ගොඩවුණේ කවදත් හුරුපුරුදු සිනහවෙන් මුව සරසාගෙනමයි.

දිනිති හැමවෙලේම මෙහෙම හිනාවෙලා සතුටින්ද ඉන්නේ?
අපොයි ඔව්, මම කොහොමත් සතුටින් තමයි ඉන්නේ.

දිනිතිගේ ළමා කාලය ගතවුණේ කොහොමද?
මගේ පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි, ලොකු අම්මයි. ඒ කාලේ මගේ තාත්තා Drama Teacher කෙනෙක් මහින්ද විද්‍යාලයේ. ඉන්පසුව ගුරු උපදේශකයෙක් විදියට විශ්‍රාම ගියා. ඉතින් කුඩා කාලේ ඉඳන්ම මම තාත්තගේ Drama බලන්න යනවා. පළමු වතාවට රාජ්‍ය නාට්‍ය උළෙලකදී සම්මානයට නිර්දේශ වෙන්නේ අවුරුදු පහේදී. ඊට පස්සේ රාජ්‍ය නාට්‍ය එකේදී මුල්ම සම්මානය මට ලැබෙන්නේ අවුරුදු හතේදී. ඒ විදියට තමයි මගේ නාට්‍ය ජීවිතය පටන් ගන්නේ.

පාසලේ ගෙවුණ කාලයත් මතක් කරමු නේද?
මම පාසලේදී සිංහල, ඉංග්‍රීසි අංශ දෙකේදීම ටවර් හෝල් හොඳම නළුවා, හොඳම නිළිය සම්මාන 2 මාරුවෙන් මාරුවට දිනාගත්තා. උසස් පෙළ දක්වාම මම පාසල් ගියේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයට. ඊට පස්සේ මම Bangalore University එකේදී Bio Technology ප්‍රථම පන්තියේ උපාධිය ලබාගත්තා.

ඔබ මේ වනවිට රැකියාවක් කරනවද?
ඔව් මම Sri Lankan Air Line එකේ ගුවන් සේවිකාවක් විදියට රැකියාව කරනවා.

Bio Technology ප්‍රථම පන්තියේ උපාධිධාරිනියක් යළිත් කලාවට සම්බන්ධ වෙන්නේ ඇයි?
මෙහෙමනේ ඉතින් මගේ ලේවල කලාව කියන දේ තියෙනවනේ. ඒ නිසා මට ඉතින් විශේෂයෙන් සම්බන්ධ වෙන්න උවමනාවක් තිබුණෙත් නැහැ. මට අවස්ථා ගොඩක් ආවා. ඒත් මගේ උවමනාවක් නැතිකම සහ මට වෙලාවක් නැතිකම තමයි තිබුණේ. මගේ ගෙදර කවුරුත් කැමති වුණේත් නැහැ මම ටෙලිනාට්‍ය හෝ සිනමා ක්ෂේත්‍රයට එනවට. එයාලට ගොඩක් ඕනි Educated girl කෙනෙක්. ඉතින් මම Try කරන්න ගත්තෙත් මගේ ආසාවට. මගේ අයියලා නම් තාමත් කැමති නැහැ. අම්මයි තාත්තයි නම් දැන් Ok. පස්සේ තමයි එයාලත් කැමති වුණේ.

ඔබ හාරකෝටියට සම්බන්ධ වෙන්නේ කොහොමද?
මට ගොඩක් අවස්ථාවන් හමුවුණත් මම හොඳ දෙයක් ලැබෙනකල් තමයි හිටියේ. ඒ අතරදී මට චාමර අයියා හාරකෝටියට කතා කළා. ඊට පස්සේ තමයි හාරකෝටියට සම්බන්ධ වෙන්නේ.

හාරකෝටියෙන් පස්සෙද අම්මයි තාත්තයි දිනිතිගේ රංගනයට කැමැත්ත දෙන්නේ?
හාරකෝටියෙන් පස්සේ තමයි ඇත්තටම මම රඟපානවට කැමති වුණේ. කොහොමත් තාත්ත ජයප්‍රකාශ් සිවගුරුනාදන්ව අඳුරනවා. එය තාත්තාගේ යාළු‍වෙක්. ඒ නිසා එයාගේ නම් වැඩි අකැමැත්තක් තිබුණේ නැහැ. හොඳ නිර්මාණයක් කියල දැනගත්තට පස්සේ තමයි එයාල මාව මේකට යොමුකළේ. දැන් නම් කොහොමත් කැමතියි.

සිල්ලර සමනල්ලු‍ එකේ සමනලියක් වෙන්නේ ඊටත් පස්සේ?
හාරකෝටිය ඉවරවුණාට පස්සේ තමයි සිල්ලර සමනල්ලු‍ පටන්ගන්නේ. මගේ දින පිළිබඳ පොඩි ප්‍රශ්නයක් තියෙනවනේ. මොකද මගේ රැකියාවේ නියැළෙන ගමන්නේ මේකත් කරන්නේ. මෙගා ටෙලිනාට්‍ය දෙකකට දින දෙන්න තරම් වෙලාවක් මට නැහැ. මොකද ඒ අතරේදී මම සිරසේ Film Star කරනවා. ඒ නිසාම මට නිවාඩු දවස් තිබුණේ නැහැ. ඒ නිසා ඒ දෙකම ඉවරවුණාට පස්සේ තමයි මම සිල්ලර සමනල්ලු‍ සමග එකතු වුණේ. ඒක ලියන්නෙත් සද්ධාමංගල සූරියබණ්ඩාරමයි. නිෂ්පාදක චාමර සමරවික්‍රම. අධ්‍යක්ෂණය සංජය නිර්මාල්. ඉතින් හොඳ එකතුවක් නිසා තමයි මම ඒකට සම්බන්ධ වුණේ.

රැකියාවේ කටයුතු හා රංගන කටයුතු සමබරව කරගෙන යන්නේ කොහොමද?
මට ලොකුම සහයෝගය ලැබෙන්නේ මගේ පවුලෙන්. ලොකු අම්මත් එක්ක තමයි මම ඉන්නේ. එයාගෙන් ගොඩක් ලොකු සහායක් ලැබෙනවා මට. ඒ අතරේ මම රැකියාවට යනවා, එනවා. නිවාඩු දවසේ Shooting යනවා. මම නැවතිලා ඉන්නේ කොළඹ මගේ යාළුවෙක්ගෙ ගෙදර. ඉතින් ඒ හැමෝමත් මම වෙනුවෙන් ගොඩක් කැපවීම් කරනවා. ඒ වගේම තමයි මගේ Company එකටත් මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් තරංග අයියා මාරම ගේමක් දෙනවා ඒකට. මේ හැමෝගෙම උදව් එක්ක තමයි මම මේ ගමන යන්නේ.

කලා ලෝකයේ අද ඔබට තියෙන තැන ගැන මොකද හිතෙන්නේ?
මට ඇත්තටම ලොකු සතුටක් තියෙන්නේ ඒ ගැන නම්. මොකද මම නිළියක් වෙන්න බලාගෙන හිටපු කෙනෙක් නෙවෙයි. මම මේ අහම්බෙන් නිළියක් වුණු කෙනෙක්. වෘත්තීයමය නිළියක් වෙන්න නම් මට කොහොමත් උවමනාවක් නැහැ. මොකද මේක මගේ හැකියාව මිසක් රැකියාව නෙවෙයිනේ. පසුගිය වර මම සුමති සම්මාන උළෙලේදී ජනප්‍රිය නිළියට නිර්දේශ වෙලා තිබුණා. ඒ වගේම අපේ නාට්‍යයත් නිර්දේශ වෙලා තිබුණා. එහෙම දකිද්දී හිතෙනවා මිනිස්සු මාව අඳුනනවා කියලා. මිනිස්සුත් එක්ක ගැටෙන්න මම ලංකාවේ නැහැනේ ගොඩක් වෙලාවට. පිටරටදී තමයි මම වැඩියෙන්ම එළියට යන්නේ. ඒ යද්දිත් ගොඩක් අය මාත් එක්ක කතා කරනවා. ඒ වෙලාවට සතුටුයි ඉතින් මම හම්බකරපු දෙයක් තියෙනවා නේද කියලා.

ඔබේ අනාගත සැලසුමක් ඇති කලාව සම්බන්ධයෙනුත්?
අනාගතය ගැන නම් මට ලොකු බලාපොරොත්තු නැහැ. මම මෙතනට යන්න ඕනි, සම්මාන ගන්න ඕනි කියලා මට එහෙම කිසිම බලාපොරොත්තුවක් නැහැ. මම එහෙම ලොකු බලාපොරොත්තු ගොඩක් තියාගෙන ජීවත්වෙන කෙනෙක් නෙවෙයි. මට අද සතුටින් ජීවත්වුණොත් ඒ ඇති. මට ඇත්තටම මේකෙන් හම්බ කරගෙන කන්න උවමනාවක් නැහැනේ. ඒ නිසා මම හැම නිර්මාණයකටම දායක වෙන්නෙත් නැහැ. හොඳ නිර්මාණවලට විතරයි දායක වෙන්නේ. මොකද මගේ අංක එක පවුල, දෙක රැකියාව, තුන තමයි රංගන ක්ෂේත්‍රය. ඒ අයගෙන් එක්කෙනෙක් හරි කැමති නැත්නම් මම කරන්නේ නැහැ.

මේ හුරුබුහුටි කෙල්ලට දැන් පෙම්වතෙක් නැතිවෙන්නත් බැහැ නේද?
පෙම්වතෙක් ඉන්නවා. එයා ගැන වැඩි විස්තර ඉස්සරහට දැනගන්න ලැබෙයි. එයාගෙනුත් ලොකු සහායක් ලැබෙනවා මේ හැමදේටම.
කෙතරම් කාර්යබහුල වුණත් මොහොතකට ඔබ වෙනුවෙන් ඇපල්වත්තට ගොඩවැදුණු දිනිතිට අපි සමුදුන්නේ ඇයගේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියල සුබපැතුම් එකතු කරමින්.

සචිත් යාපා –ඉරිදා ඇපල් 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *