රුක්මණී දේවියගේ අවසන් පැය කිහිපය

ඇහැට පෙනෙන මානයේ හිටියත් හිතකට ඇතුළුවන්න බැරි අය වගේම පුදුමාකාර විදියට අනිත් අයගේ හිත් පතුලට කිඳා බහින අයත් ඉන්නවා. තරුවකට තිබිය යුතු ප්‍රධානම සුදුසුකමක් තමයි රසික හිත්වල ජීවත් වීමේ හැකියාව. ඒ විදියට බැලුවොත් රුක්මණී දේවි කියන්නේ සදා දිලෙන තරුවක්. වසර හතළිහකට පෙර අද වගේ දවසක ජීවිතයෙන් සමුගත්තත් අද සිටින කුඩා දරුවකු පවා රුක්මණී දේවි කියන නම එක වතාවක් හෝ අසා නැත්නම් එය පුදුමයට කාරණාවක්. ඒ නිසාමයි ඇගේ වියෝවෙන් වසර හතළිහක් ගවෛන මේ මොහොතේ රිද්ම තුළින් ඇගේ මතකය ආවර්ජනය කරන්නට ප්‍රවීණ ගායිකා ඉන්ද්‍රාණි පෙරේරාව අපි මේ විදියට කතා බහට එකතු කරගත්තේ.

බොහෝ දෙනෙක් නොදැන සිටියත් රුක්මණී දේවියගේ අවසන් හෝරා කිහිපය  ගත වුණු කිහිප දෙනා අතර ඔබත් ඉන්නවා. මතකද එදා සිදුවුණු දේවල්?

ඒ හෝරා කිහිපය ජීවිතයටම අමතක නොවන හෝරා කිහිපයක්. 1978 ඔක්තෝබර් 29 වැනිදා තමයි ඩේසි අක්කා (රුක්මණී දේවි) එයාගේ කලා ජීවිතේට වසර හතළිහක් පිරීම නිමිත්තෙන් ස්වර්ණ ගී ප්‍රසංගය පවත්වන්නට යොදාගෙන තිබුණේ. ඊට කලින් දවසේ ඒ වෙනුවෙන් වැඩ රාජකාරි රැසක්ම ඇයට යෙදිලා තිබුණා. ඔක්තෝබර් 27 වැනිදා මාතර උයන්වත්තේ පැවැති ප්‍රසංගයක ගී ගයන්නත් ඇය බාර ගෙන තිබුණා. ඒ ප්‍රසංගයට අපි ත්‍රී සිස්ටර්ස්ලාත් (මම, මල්ලිකා පෙරේරා හා අයිරාංගනී පෙරේරා) සහභාගි වීමට නියමිතව තිබුණා.

ඊට පස්සේ?

මම කියන්නම්. එදා අද වගේ ‍නෙවෙයි. අද ගොඩක් වෙලාවට ප්‍රසංගවලට ගායක ගායිකාවන් තමන්ගේ වාහනයෙන් ඇවිත් ගී ගයලා යනවා. අද කට්ටිය එකට මුණ ගැහෙනවා අඩුයි. එදා ගායක ගායිකාවන් ප්‍රසංගයකට යන්නේ එකටයි. ඒක හරිම සුන්දර අත්දැකීමක්. ඒ දවස්වල ගායක ගායිකාවන් ප්‍රසංගවලට හයර් එකට ගෙන යන වාහනයක් තිබුණා. ඒක දයා පෙරේරාගේ. 27 වැනිදා දයා පෙරේරාගේ වාහනයෙන් ගායක ගායිකාවන් එකතු කරගෙන අන්තිමට රාජගිරියේ අපේ ගෙදරට ආවා. ප්‍රසංගයට ගිහිල්ලා තමයි ඇඳ පැලඳගෙන මේකප් කරන්නේ. ඩේසි අක්කා ලස්සන ලුංගියක් ඇඳලා කොණ්ඩේ කඩාගෙන සුරංගනාවක් වගේ වාහනෙන් බැහැලා අපේ ගෙට ආ හැටි මට අද වගේ මතකයි. ඊට පස්සේ අපි කට්ටියම වාහනයට නැගලා  ගමන යන්න පිටත් වුණා.

ඒක බොහොම සුන්දර ගමනක් වෙන්න ඇති?

ඔව්. හරිම සුන්දර ගමනක්. අපේ පුංචි අම්මා (රූබි) ඉන්නේ කළුතර. අපි  මාතර යනවා. ඒ ගමනට රුක්මණී දේවිත් එනවා කියලා දැන ගත්තම එයාලගේ ගෙදරත් අපිට එන්න කිව්වා. ඒ හින්දා අපි ගියේ කළුතර හරහා. කට්ටියම පුංචිලගෙ ගෙදර ගියා. ඩේසි අක්කයි පුංචියි හොඳම යාළුවෝ. ඩේසි අක්කා වාහනෙන් බැහැලා කුස්සියටම ගියා. අපි කාලා බිලා බොහොම සතුටින් ගත කරලා ඊට පස්සේ පුංචිලාගෙන් සමු අරගෙන මාතර ගියා. ඩේසි අක්කා ඉන්න තැන පාළුවක් නැහැ. විහිළු තහළු කරමින් හරිම සතුටින් මාතරට යද්දී උයන්වත්ත ක්‍රීඩාංගණය තනිකරම ජනගඟක්. එදා ප්‍රසංගය ඉතාමත් සාර්ථකයි. ප්‍රසංගය නිමාවෙලා අපි ආපහු එන්න පිටත් වුණා.

ඒ ෙදෙවෝපගත රුදුරු ඉරණමට කාලය ටිකෙන් ටික ළං වුණා නේද?

කවුද එහෙම හිතුවේ. අපි ආවෙත් හරිම සතුටින්. එක් එක් ගායක ගායිකාවන් බස්සලා අන්තිමට රාජගිරියේ අපේ ගෙදරට ආවා. ඉතුරු වෙලා හිටියේ ඩේසි අක්කයි එඩී අයියයි අපියි. ඒ දවස්වල ත්‍රී සිස්ටර්ස්ලා ප්‍රසංග වලට අපේ තාත්තත් යනවා. තාත්තා ඩේසි අක්කටයි එඩී අයියටයි කිව්වා ගෙට ඇවිත් තේ එකක් බිලා යමු කියලා. ඒත් ඩේසි අක්කා ඒකට කැමති වුණේ නැහැ. එයාට ඕන වුණේ ඉක්මනින් ගමන නිමා කරන්නයි.

මතකද එදා රුක්මණී දේවි ඔබලාගෙන් සමුගත්තු හැටි?

මිස්ටර් පෙරේරා නම් හරිම වාසනාවන්තයි. දැන් සැපට නිදා ගනියි. අපි දැන් කඳානෙන් එඩීව දාලා මීගමුවේ ගිහින් අම්මයි තාත්තයි මුණගැහිලා ආයෙම කොළඹ එන්න ඕනනේ….. කියලා. ඩේසි අක්කා තාත්තාට කිව්වා 29 දා ස්වර්ණ ගී ප්‍රසංගයේදී හමුවෙමු කියලා ඩේසි අක්කා වාහනේට නැගලා අපිට අත වනලා පිටත් වෙලා ගියා.

ඒ තමයි ඔබ ඇයව දැකපු අවසන්වතාව?

අනේ ඔව්. (හැඟුම්බර වෙයි.) අපි ඇඳුම් මාරු කරලා නිදා ගන්න හැදුවා. පැය භාගයක් වත් ගෙවිලා ගියේ නැහැ. අජන්ත පීිරිස්ගෙන් කෝල් එකක් ආවා. මමයි දුරකථනය ගත්තේ. කඳානෙන් එඩී අයියව බස්සලා මීගමු යද්දී ජා ඇල තුඩැල්ල හන්දියේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා රුක්මණී දේවියි දයා පෙරේරයි එතනම මියගිහින් කියන පණිවුඩය අපිට ලැබුණා. ඒ වෙලාවේ මට මොනවා වුණාද කියලා මතක නැහැ. අපි ඒ මොහොතේම ජාතික රෝහලට ගියා. කලාකරුවෝ රැසක්ම රෝහලට ඇවිදින් හිටියා. ඩේසි අක්කාගේ රසික පිරිසත් රෝහල වට කරලා. ඒත් කාටවත් මිනිය බලන්න දුන්නේ නැහැ. ඩේසි අක්කගේ අර ලස්සන මුහුණ කුඩු පට්ටම් කරලා තමයි කුරිරු ෙදෙවය විසින් ඇගේ ජීවිතය ඇගෙන් උදුරාගෙන තිබුණේ. ෙදෙවය කියන්නේ පුදුමාකාර දෙයක්.  මගේ අක්කා මල්ලිකා පෙරේරා නොහිතපු විදියේ හදිසි මරණයකට ගොදුරු වුණෙත් 1987 ඔක්තෝබර් 27 වැනිදා. ඔක්තෝබරයේ අගභාගය උදා වෙද්දී අදටත් මට මේ අමිහිරි මතකය මතකයට එනවා.

ආරියවංශ කුලතිලක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *