ලෝක කුසලානේ ආරක්‍ෂාව තර‌ වෙයි

Sharing is caring!

අයි.එස්. ඇතුළු ඉස්ලාමීය අන්තවාදී සංවිධාන විසින් එල්ල කරනු ලබන බිහිසුණු ත්‍රස්ත ප්‍රහාර නිසා මේ වනවිට ලොවම සිටින්නේ දැඩි භීතියක වෙළීගෙන බව රහසක් නොවේ. කොයි මොහොතක, කුමන ආකාරයෙන් මෙවැනි ප්‍රහාර එල්ල වනු ඇත් ද යන්න අවිනිශ්චිත වන අතර මේ නිසාම දැවැන්ත ආරක්‍ෂක මෙහෙයුම් සහ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට සිදුව තිබේ. විශේෂයෙන් ජනතාව විශාල වශයෙන් රැස්වන, ප්‍රධාන පෙළේ අවස්ථා ඉලක්ක කර මෙවැනි ප්‍රහාර එල්ල වීමට විශාල ඉඩක් ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.

මෙම පසුබිම තුළ මේ වනවිට පැවැත්වෙමින් ඇති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන කණ්ඩායම්, ප්‍රේක්‍ෂකයින්, මාධ්‍යවේදීන් ඇතුළු පාර්ශ්වවල ආරක්‍ෂාව සම්බන්ධයෙන් ද අති විශාල අවධානයක් යොමු කිරීමට සංවිධායකයින්ට සිදුව ඇත. ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන බ්‍රිතාන්‍යය තුළ පසුගිය කාලයේ නිතර ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ බව ද මෙහි දී අමතක කළ නොහැක්කකි. අරියානා ග්‍රාන්දේ නමැති සුප්‍රකට ගායිකාව සහභාගි වූ දැවැන්ත සංගීත ප්‍රසංගයකට එල්ල වූ බිහිසුණු ප්‍රහාරය මේ අතරින් කැපී පෙනුණි. මෑත කාලයේ නවසීලන්තයේ දී මෙන්ම ශ්‍රී ලංකාවේ දී ද එල්ල වූ ප්‍රහාර ලෝක කුසලාන තරගාවලිය සඳහා සූදානම් වෙමින් සිටි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට විශාල පීඩනයක් එල්ල කරන්නට සමත් වූයේය. තරගාවලියට සහභාගි වන රටවලින් මෙන්ම ප්‍රේක්‍ෂක ප්‍රජාවගෙන් ද තරගාවලියේ ආරක්‍ෂාව පිළිබඳ ‘පිළිගත් සහතිකයක්’ ඉල්ලා සිටීම එයට එක් හේතුවක් විය. මෙම පසුබිම තුළ ලෝක කුසලාන තරගාවලියේ ආරක්‍ෂාව තර කිරීම සඳහා අලුතෙන් සිතා බැලීමට ක්‍රිකට් කවුන්සිලයට සිදු විය. ‘විශේෂයෙන් ශ්‍රී ලංකාවේ සහ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාර දෙක තරගාවලිය ඉතාම ආසන්නව තිබියදී එල්ලවීම කවුන්සිලය තුළ යම් නොසන්සුන් බවක් ඇති කළා’ යයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරියෙකු වන ජිල් මැක්ක්‍රැකන් සඳහන් කර තිබිණි. ලෝක කුසලාන තරගාවලියේ ආරක්‍ෂාව සම්බන්ධ කටයුතු භාරව සිටින අධ්‍යක්‍ෂවරයා ඔහු යි. පසුගිය කාලයේ නිතර නිතර බ්‍රිතාන්‍යයට ප්‍රහාර එල්ල වීම නිසා එරට ආරක්‍ෂාව සම්බන්ධව පවතින ‘අනතුරුදායක මට්ටම’ (Threat Level) ඔවුන් ශ්‍රේණිගත කර ඇත්තේ ‘ඉතා බරපතළයි’ (severe) යනුවෙනි. මෙය ද ලෝක කුසලාන තරගාවලියට අදාළ තත්ත්වය වඩාත් සංකීර්ණ කරන්නක් විය. තරගාවලිය ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වීමට ලොකු ඉඩක් ඇති බව ආරක්‍ෂක විශේෂඥයින් ගේ අදහස වූ බැව් පෙනිණි.

‘බ්‍රිතාන්‍යය තුළ බොහෝ විට ප්‍රහාර එල්ල වන්නේ ජනතාව විශාල වශයෙන් ගැවසෙන ස්ථානවලටයි. ඔවුන් නිතරම විශාල පිරිසක් ගොදුරු කරගන්නයි බලන්නේ’ ජිල් මැක්ක්‍රැකන් පවසයි. මේ නිසා ක්‍රීඩාංගණ අවට මෙන්ම ක්‍රිකට් කණ්ඩායම් වටා ද දැවැන්ත ආරක්‍ෂක වළලු ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවත්, මේ නිසා තරගාවලියට අදාළ ආරක්‍ෂක අනතුරක අවදානම අවම මට්ටමක් දක්වා ගෙන ඒමට හැකි වූ බවත් ඔහු සඳහන් කරයි. මෙවර තරගාවලිය දින 46 ක් පුරා පැවැත්වෙන අතර ක්‍රීඩාංගණ 11 කදී, තරග 48 ක් පැවැත්වෙයි. මෙවැනි අවදානම් සහගත කාලයක මෙවන් තරගාවලියක ආරක්‍ෂාව තහවුරු කිරීම කෙතරම් සංකීර්ණ සහ අභියෝගාත්මක කටයුත්තක් ද යන්න අමුතුවෙන් පැවසිය යුතු නැත. තරගයෙන් තරගයට ආරක්‍ෂක වැඩපිළිවෙළ වෙනස් කරන බවත්, කිසිම අවස්ථාවක තරග දෙකක් සඳහා එකම ආරක්‍ෂක උපායයන් භාවිත නොකරන බවත් බලධාරීහු සඳහන් කරති. මේ අතර බ්‍රිතාන්‍යයේ ආරක්‍ෂක අංශවලට අමතරව තරගාවලියට සහභාගි වන රටවල ආරක්‍ෂක අංශ ද මෙහි දී සම්බන්ධ වන අතර ආරක්‍ෂක වැඩපිළිවෙළ ක්‍රියාවට නැගෙන්නේ මේ සියලු දෙනාගේ දායකත්වයෙනි. විශේෂයෙන් ක්‍රීඩාංගණ ආශ්‍රිතව ඩ්‍රෝන යානා ආදිය යොදාගනිමින් එල්ල කළ හැකි තර්ජන ආදිය සම්බන්ධයෙන් ද විශාල අවධානයක් යොමු වන බැව් සඳහන් වේ. මෙම ආරක්‍ෂක කණ්ඩායම් මුහුණ දෙන තවත් සංකීර්ණම අභියෝගයක් වන්නේ ක්‍රීඩාලෝලීන් ට අමතර හිරිහැර ඇති නොවන ආකාරයෙන් ආරක්‍ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමයි.

ත්‍රස්ත ප්‍රහාර නිසා ක්‍රිකට් තරගාවලිවලට මෙන්ම කණ්ඩායම්වලට ද තර්ජන එල්ල වූ අවස්ථා කිහිපයක් ම ඉතිහාසයේ තිබේ. පසුගිය මාර්තු 15 වෙනි දින නවසීලන්තයේ ඉස්ලාම් පල්ලියකට ප්‍රහාර එල්ල වූ අවස්ථාවේ ද බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ගේ දිවි බේරුණේ අනූනවයෙනි. ඔවුන් එදින ඒ ආසන්න ක්‍රීඩාංගණයක පුහුණු සැසියකින් පසු දේවස්ථානය වෙත පැමිණෙමින් සිටි අතර ඔවුන්ගේ වාසනාවට දේවස්ථානයට ඇතුළු වීමට පෙර වෙඩි තැබීමේ සිද්ධිය අවසන් විය. පුහුණු සැසියෙන් පසු මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වීම නිසා විනාඩි දහයක පමණ ප්‍රමාදයක් සිදුව තිබූ අතර එසේ නොවුණා නම් මෙයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් කියන්නටද සිදුවන්නටද ඉඩ තිබිණි. කෙසේ හෝ වේවා මෙම සිද්ධිය විවිධ රටවල ක්‍රිකට් බලධාරීන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ද ඇස් අරවන්නට සමත් වූවක් විය. මෙම සිදුවීමෙන් පෙනී ගියේ බංග්ලාදේශ කණ්ඩායම ප්‍රමාණවත් ආරක්‍ෂක ආවරණයකින් තොරව රිසි ආකාරයෙන් ඔබ මොබ යමින් සිට ඇති බවකි. ක්‍රිකට් කණ්ඩායමක ගමන් බිමන් සම්බන්ධයෙන් මෙයට වඩා අවධානයක් සහ ආරක්‍ෂක වැඩපිළිවෙළක් අවශ්‍ය බව පෙන්වා දීමට මෙම සිදුවීම සමත් විය. තම කණ්ඩායමට නිසි තරම් ආරක්‍ෂාවක් සපයා නැති බවට මෙහි දී බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන්ගේ පැත්තෙන් නවසීලන්ත ආරක්‍ෂක අංශ වෙත චෝදනා ද එල්ල විය.

2009 වසරේ මාර්තු 3 වෙනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉලක්ක කර පාකිස්තානයේ දී එල්ල වූ ප්‍රහාරය ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වූ ආරක්‍ෂක තර්ජන සම්බන්ධයෙන් දිය හැකි බිහිසුණුම නිදසුනකි. සෘජුවම කණ්ඩායමක් ඉලක්ක කර එල්ල කළ පළමු ප්‍රහාරය ද එය විය. ප්‍රහාරය එල්ල වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම හෝටලයේ සිට ලාහෝරයේ ගඩාෆි ක්‍රීඩාංගණය බලා ඔවුන්ගේ බස්රියෙන් ගමන් කරමින් සිටියදී ය. මග රැක සිටි ත්‍රස්තවාදීන් කණ්ඩායමක් මෙහි දී වෙඩි ප්‍රහාරයක් එල්ල කළේය. කණ්ඩායමේ කිහිප දෙනකු තුවාල ලැබූ අතර පොලිස් නිලධාරීන් ඇතුළු සත් දෙනෙක් මරණයට පත් වූහ. මෙම ප්‍රහාරය එල්ල කළේ ඇෆ්ගනිස්තානයේ සිට ක්‍රියාත්මක වූ ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් වූ ලෂ්කාර්-ඉ-ජංග්වි නම් සංවිධානය බව පැවසිණි.

ත්‍රස්ත ප්‍රහාරයක් නිසා ජාතික ක්‍රිකට් කණ්ඩායමකට බලපෑමක් එල්ල වූ පළමු අවස්ථාව වාර්තා වන්නේ ශ්‍රී ලංකාවෙන් බව ද අමතක කළ හැකි නොවේ. ඒ 1987 වසරේ ය. එම වසරේ අප්‍රේල් 21 වෙනි දින පිටකොටුව බස් නැවතුම්පළේ දී එල්ටීටීඊ සංවිධානය විසින් කාර් බෝම්බයක් පුපුරුවා හරින ලද අතර එයින් 113 කට ආසන්න පිරිසක් මරණයට පත් විය. ඒ වනවිට නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සිටියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙමිනි. ඒ තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ය. ඒ වනවිට පවත්වා තිබුණේ එක් තරගයක් පමණි. කණ්ඩායම නතර වී සිටියේ බෝම්බය පුපුරා ගිය ස්ථානය ආසන්නයේ පිහිටි හෝටලයක වූ අතර ප්‍රහාරය ක්‍රීඩකයින් තුළ විශාල කම්පනයක් ඇති කරන්නට සමත් විය. ඒ නිසා දෙවෙනි තරගයට නොසිටම ඔවුහු පෙරළා නවසීලන්තය බලා ගියහ. නවසීලන්ත කණ්ඩායම 1992 දී නැවත වරක් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි අතර එවරද ඔවුන්ට නැවතත් අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදු විය. 1992 නොවැම්බර් 16 වෙනි දින ගාලු මුවදොර ආසන්නයේ දී මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙකු විසින්, එවකට සිටි නාවුක හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කරන ලදී. එම ප්‍රහාරයෙන් නාවුක හමුදාපතිවරයා මරණයට පත් විය. එම අවස්ථාවේ ද නවසීලන්ත කණ්ඩායම නතර වී සිටියේ ඒ ආසන්න හෝටලයක ය. සිද්ධියෙන් පසු කණ්ඩායමේ සාමාජිකයෝ කිහිප දෙනෙක් නැවත නවසීලන්තය බලා නික්ම ගියහ. නමුත් තරගාවලිය අවලංගු කෙරුණේ නැත.

2002 වසරේ ද නවසීලන්ත කණ්ඩායම නැවතත් එවැනි සිද්ධියකට මුහුණ දුන්නේ පාකිස්තානයේ කරච්චි නුවරදී ය. එවර ද ඔවුන් නතර ව සිටි හෝටලය ඉදිරිපිට බෝම්බයක් පිපිරී යාමෙන් 12 දෙනෙක් මරණයට පත් වූහ. එම අවස්ථාවේ ද නවසීලන්ත කණ්ඩායම පාකිස්තානයෙන් පිටව නැවත සිය රට බලා ගියේය. 2008 වසරේ ඉන්දියාවේ මුම්බායි හිදී ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ එංගලන්ත කණ්ඩායම සිටියේ එරට ක්‍රිකට් සංචාරයක නිරත වෙමිනි. ඒ වනවිට, තරග 7 කින් යුතු වූ එක් දින තරගාවලියක තරග 5 ක් පවත්වා තිබිණි. ඒ තරග පහම ජයගෙන තිබුණේ ඉන්දියාවයි. කෙසේ නමුත් බෝම්බ සිද්ධියෙන් පසු ඉතිරි තරග දෙක අවලංගු කෙරුණු අතර එංගලන්ත පිල නැවත පිටත්ව ගියේය. මුම්බායි හි ස්ථාන 12 ක වෙඩි තැබීම් සහ බෝම්බ පිපිරීම් සිදු වූ අතර ප්‍රහාරය එල්ල කරන ලද්දේ පාකිස්තානයේ සිට ක්‍රියාත්මක වූ ලෂ්කාර්-ඉ-තයිබා නැමැති සංවිධානය විසිනි. බ්‍රිතාන්‍යයේ ආරක්‍ෂක අංශවලට අමතරව තරගාවලියට සහභාගි වන රටවල ආරක්‍ෂක අංශ ද මෙහි දී ආරක්‍ෂක වැඩපිළිවෙළට යොදා ගනියි

Aruna Newspaper – සහන් වික්‍රමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *