හිත “ශ්‍රමණ” නැති ශ්‍රමණ ලිංගය පමණක් ඇති ඇත්තන්ගෙන් ප්‍රවේසම් වන්න – තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ බණ පද

පුංචි කාලේ ඉඳලම මට තිබුණා මහා බරපතළ ප්‍රශ්නයක්. ඔන්න මේකයි . අපේ ගමේ පන්සලේ ලොකු සාදු පෙරවාගෙන හිටියේ තද මෙරුන් පාට කළු පාටට හුරු සිවුරක්. පොඩි සාදු පෙරවන් හිටියේ පාට පෙට්ටියේ තැඹිලි පාටේ පාටට සිවුරක්.

එතකොට සිල් මෑණියෝ පෙරවන් හිටියේ ඇහැළ මලේ පාට සිවුරක්.
මාසෙකට වතාවක් ගමට පිඬුසිඟා වඩින හාමුදුරුවෝ පෙරවන් හිටියේ කෝපි පාට සිවුරක්…
ඇයි අම්මේ… එහෙම පාට පාට සිවුරු පෙරවන්නේ….? ඒ එක එක නිකායවල්වලට තෝරාගෙන තියෙන පාට.
ඕක තමයි අම්මා දීපු උත්තරේ. හැබැයි මට ඒ නිකාය කියන වචනේ හරියටම තේරුණේ අටේ නමයේ පන්තිවලදී, තිබුණේ අර මල්වතු අස්ගිරි පාර්ශ්ව කියලා එකක්. එහෙම, අර උපසම්පදා, කර්මය පිහිටුවා ගත්තා කියලා ආන්න එතකොට තමයි මට කාරණා තේරුණේ.

ඒත් හාමුදුරුවනේ තවමත් නොතේරෙන, ලිහාගන්න බැරිවුණ තැනක් තියෙනවා. බුදුහාමුදුරුවන්ගේ කාලේ උන්වහන්සේත් මෙහෙම පාට බෙදාගෙන නිකාය වර්ග කරගෙන හිටියද?

අපි පැවිදිවෙන්නෙම සබ්බ නිස්සරණ කියලනෙ. ඒ කියන්නේ මොකක්ද ” බුදුහාමුදුරුවොත් නිවන කියන මාර්ගය හොයාගත්තා, අපිත් ඒ මාර්ගය අනුගමනය කරනවා කියලනේ. අපි අනිත් දෘෂ්ටි අත්හරිනවා, අපි බුදුුහාමුදුරුවන්ගේ අදහසට එනවා, මජ්¿ධිම පටිපදාවට එනවා මධ්‍යස්ථ මනසක් හදාගන්නවා කියලනේ.”
එතකොට ඒ පරම පිවිතුරු යථාර්ථය ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිස බෙදාහරින්න බුදුරජාණන් වහන්සේ අවුරුදු හතළිස් පහක්ම පුදුම මහන්සියක් අරගත්තේ.

ෆේස් බුක් තිබුණේ නෑ, යූ ටියුබ් තිබුණේ නෑ. ඒ නිසා උන්වහන්සේට ගමින් ගමට ගමින් ගමට ගිහිල්ලා තමන්ගේ අදහස එහෙම තමයි සමාජ ගත කළේ. එහෙම තමයි සමාජ සම්මත කළේ. ඒක ලොකු අරගලයක්. එතකොට ඒ අරගලය ඇතුළේ තියෙන ප්‍රධානම එකක් තමයි ඉන්දියාවේ මිනිස්සුන්ව බෙදාගෙන වර්ග කරගෙන හිටපු මිමි වෙනස් කරන එක. මොකද ඉන්දියාවේ මිනිස්සු කුලවලින් බෙදාගෙන හිටියේ.

එතකොට බ්‍රාහ්මණ කුලයේ අය කිව්වා ඒ ගොල්ලෝ තමයි සුපිරි පැළැන්තිය, එයාලා දායාද වුණේ බ්‍රහ්මයගේ ඔළුවෙන් කියලා. එතකොට ශුද්‍රයෝ බ්‍රහ්මයගේ යටිපතුල්වලින්, උරහිස් වලින්, කලවෙන් කියලා ඔහොම මිනිස්සුන්ව උස් පහත් හැටියට වර්ග කරගෙන තමයි හිටියේ.

එතකොට අර බ්‍රාහ්මණයෝ නාන වතුර තමයි ඊළඟට උසස් එක්කෙනා නාන්නේ එයා නාන වතුර ඊටපස්සේ උසස් එක්කෙනාට… ඔහොම ඔහොම අන්තිමට කුණු වතුර ටික නාන්නේ ශුද්‍රයා කියලා හංවඩු ගහපු කට්ටිය. මේක අදටත් ඉන්දියාවේ තියෙනවා. මේ කුල ප්‍රශ්නේ උපරිම තියෙනවා. ඉතිං ඕකත් එක්ක බුදුහාමුදුරුවෝ දැඩිව ඒ මතය හෙළා දැක්කා, බැහැර කරලා දැම්මා. බ්‍රාහ්මණයට බල්ලෝ කියලා කතා කළා. එහෙම මිනිස්සු බෙදලා වෙන් කරලා සළකන නිසා.

බුදු හාමුදුරුවෝ දේශනා කළේ මේකයි, කවදාවත් මනුස්සයෝ උත්පත්තියෙන්, කුලයෙන් බෙදන්න බෑ.
උපතින් මනුස්සයෙක් බ්‍රාහ්මණයෙක් වෙන්නෙත් නෑ, වසලයෙක් වෙන්නෙත් නෑ, ඉතිං බුදුහාමුදුරුවෝ කිව්වේ මොකක්ද තමන් කරන ක්‍රියාව මත, තමන් සිතන විදිය මත තමන් වසලයෙක්ද බ්‍රාහ්මණයෙක්ද කියන දේ තීරණය වෙනවා. එහෙමයි උන්වහන්සේ දේශනා කළේ.

එතකොට අපි කියමු දැන් මල්වත්ත හරි අස්ගිරියේ හරි වෙන නිකායක හරි නායක හාමුදුරු කෙනෙක් කියනවා නං මේක කරාවෙද දුරාවෙද, මේක අපේ පංතියේද කියලා බලලා තමයි මහණ කරගන්නේ කියලා එතකොට එයා ඒ චින්තනයෙන්ම මොකෙක්ද ? ස්ථිරවම වසලයෙක්. බුදුහාමුදුරුවොන්ගේ වචනයෙන්ම කිව්වොත් හද්ද වසලයෙක්. ඒ මොකද ඒ, එහෙම කිව්වේ ඇයි ? ඒ එහෙම කුල පංති ගැන කියන හොයන තෝරන උදවිය චීවරය දරාගෙන ඉන්නේ කව්රු නිසාද බුදුරාජාණන් වහන්සේ නිසා. එයාට මිනිස්සු ගෞරව කරන්නේ, වන්දනා කරන්නේ, දාන මාන ගේන්නෙ කව්රු නිසාද, බුදුහාමුදුරුවෝ ඒ ගෞරවය භික්ෂුවට ලබාදීපු නිසා.
එතකොට ඒ බුදුහාමුදුරුවන්ව සිහිකරගෙන ඒ භික්ෂුන්ට දෙන දානෙත් කාලා, බුදුහාමුදුරුවන්ගෙන්ම සම්පූර්ණයෙන්ම යැපිලා, බුදුහාමුදුරුවන්ගේ දර්ශනයට ඒක උඩටම මලපහ කරන එකෙක් තමයි මහ නායක හාමුදුරුවරු කියන්නේ.

ඒ ඇයි මම එහෙම කියන්නේ, බුදු හාමුදුරුවෝ අවුරුදු හතළිස් පහක් ගත්ත මහා බුද්ධ ආඥාව මේ මහානායක හාමුදුරුවරු කුලය වෙනුවෙන් පාවා දෙනවා.

එතකොට ඒ මහානායක කියන චරිතයේ බුදුහාමුදුරුවන්ට අල්ප මාත්‍රයකවත් ගරු කිරීමක් තිබිලද, අවුරුදු හතළිස් පහක් පුරාම බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ මිනිස්සුන්ට මනස පිරිසිදු කරගන්න, හිත හදාගන්න. අන්න ඒ අනුශාසනාව අනුගමනය කරන බුද්ධ පුත්‍රයයි උසස්. මනුස්සයෙක් හිත පිරිසිදු වෙන මට්ටමයි උසස් වෙන්නේ, හිත අපිරිසිදු වෙන මට්ටමයි පහත් වෙන්නේ මිසක්, එයාට උත්පත්තියෙන් ලැබෙන මොකක්වත් මත උස් පහත් නම් තීරණය වෙන්නේ නෑ.

ඒ වෙනුවෙට දැන් මේ නිකාය බෙදාගෙන චීවරයක් පොරවාගෙන නිකාය බෙදාගෙන චීවරයක් පොරවාගෙන නායක කියන අය මොනවද මේ ශාසනයට කරන්නේ,
“උත්පත්තියෙන් ගොවිගම නං ආං එන්න අපි මහණ කරන්නං, උත්පත්තියෙන්, මේකේ නං මේකේ මහණ කරන්නං, අරකේ නං ඒකේ මහණ කරන්නං”
එතකොට මං අහනවා, දැං උත්පත්තියෙන් එක. කුලයකටත් නැති එකෙක් එනවා බුද්ධ ශාසනයේ මහණ වෙන්න, ජීවිතය අවබෝධ කරන්න, එතකොට ඒකා මොහොකෙද මහණ කරන්නේ?
ඒකගේ අම්මයි තාත්තයි මැරිලා පාරේ දාලා ගිහිල්ලා හිටපු එකෙක්. දැං ඒකගේ කුලේ කොහොමද හොයන්නේ?
එතකොට අපි කොච්චර මේ ගැන කතා කළත්, ලංකාවේ නායක හාමුදුරුවරු මේ බුද්ධ ශාසනයට කුලය කියන එක ගාවගෙනමයි ඉන්නේ. මගෙනුත් අහලා තියෙනවා. “ඔයා මොකක්ද ?” එතකොට පැවිදි කළාට පස්සේ කුලය අයින් වෙනවනේ, එතකොට අහන්නේ “මොන නිකායෙද” මොන පාර්ශ්වයෙද”
ආන්න ඒවට තමයි ඊට පස්සේ සලකන්නේ. ඒක, හරියට අර වයර් එකක් ඇතුළේ කරන්ට් එකක් යනකොට අපිට පෙන්නේ නෑ වගේ වයසට යන්ඩ යන්ඩ ඒ මතය නායක හාමුදුරුවන්ගේ වැඩියෙන් වැඩකරනවා.
දැං ඒ මහ නායක හාමුදුරුවෝ අනුගමනය කරන දායකයොන්ගෙත් ඊට පස්සේ ඔළුවලට ඒක වැඩ කරනවා.
ඇයි ඒ එහෙම වෙන්නේ. ප්‍රතිපත්ති පූජාව පුරලා නෑ. මොකක්ද? එයා ශාසනයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට නෙවෙයි පිළිපැද්දේ, අනුගමනය කළේ, එයා අනිත් ඔක්කෝම ටික කරලා, හැබැයි, බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අනුගමනය කරලා ඒ තුළින් ධර්මාවබෝධයට පත්වෙලා නෑ. දැං එයාගේ හිත හයිය නෑ. මොකද එයා වීවරය දරාගත්තු අභිප්‍රාය එයා සාර්ථක කරගත්තේ නෑ. ඒ වෙනුවට එතනත් එයා භෞතික විසිතුරු ලෝකයක් හදාගත්තා. දැං තමන් නියම බුද්ධ පුත්‍රයෙක්ගේ මාර්ගයේ නෑ කියලා ලෝකයට වසං කරන්න එයා මොකද කරන්නේ, ජාතිය, කුලය, උපාධිය, විහාර භූමියේ අයිතිය, විහාරාධිපති පට්ටම, තමයි ඒ අඩුව වහගන්න එයා භාවිත කරන්නේ. ඒ වහගන්න හදන්නේ මොන අඩුවද? සතිපට්ඨානය වඩලා හිත හදාගත්තේ නැති අඩුව තමයි ඒ එහෙම වහන්න දඟලන්නේ.

අපි කියමු යම් හාමුදුරුනමක් බුදුහාමුදුරුවෝ ඒ දේශනා කරපු ආකාරයට සතිපට්ඨානය වඩලා, “සේලෝ යථෝ ඒක ඝණෝ” හිත ගලක් වගේ හදාගෙන, තියේනං එයාට ඔය කුලයක, නිකායක ප්‍රශ්නයක් එයිද?
එහෙනං හොඳට හිතේ තියාගන්න, ඔය කුලය, නිකාය ගැන හිතන හැම හාමුදුරුවරු කෙනෙක්ම බුදු හාමුදුරුවන්ගේ දර්ශනය අබමල් රේණුවක් තරම්වත් දැන්නැති හිස් මනුස්සයෙක්. හිස්ම හිස් මනුස්සයෙක්.
වර්තමානය පිරිච්ච මනුස්සයෙක්ට කවදාවත් ඒ වාගේ බොල් දේවල් උවමනා නෑ.
වර්තමානය පිරිලා කිව්වේ, සතිපට්ඨානය වඩපු මනුස්සයාට වර්තමානය පිරිලා තියෙන්නේ, සාක්ෂාත් කරලයි තියෙන්නේ.

ඒ නිසා මේ නිකාය බෙදාගෙන කුල බලලා මහණ කරන එක ඇත්තටම ඛේදනීය තත්ත්වයක්. ලෝකයේ ඕනෑම තැනක මමත්වයක් එක්ක බෙදීම් තියෙනවා. එංගලන්තෙට ගියත් ඒ රටෙත් විවිධ බෙදීම් තියෙනවා. රස්සාව කරන තැනක් විවිධ බෙදීම් තියෙනවා. හැබැයි බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ කවුරුහරි කෙනෙක් ඇවිල්ලා මහණ වෙනවද, බුදු හාමුදුරුවන්ට ඒ කව්ද කුලය මොකක්ද අදාළත්වයක් ඇත්තේම නෑ. උන්වහන්සේ සුනීත මහණ කළා. ශුද්‍ර කුලයේ, සෝපාක මහණ කළා. අනාථයෙක්, රජ්ජුමාලා මහණ කළා දාසියක්.

ඊළඟට බ්‍රාහ්මණ කුලයේ අය මහණ කළා. සැරියුත් මුගලන්, ඒ ඔක්කෝම මහණ කළාට පස්සේ, බුදු හාමුදුරුවන්ගේ ශාසනයේ, “ඒ නාම ගොත්ථං අහෝසි” ඒ නම් ගොත් පට්ටන්තර සේරම අහෝසියි. දැන් තියෙන්නේ එකම නමයි. මොකක්ද “ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර” බුදු හාමුදුරුවෝ ඕකට ලස්සන උපමාවක් කියනවා.
“ගංගා , මගී, සරභූ කියන ගංගාවල් මුහුදට වැටෙනවා. මුහුදට වැටෙනකංම ඒ ගංගාවල්වල නං වලින් තමයි ඒවා හඳුන්වන්නේ. හැබැයි මුහුදට වැටුණට පස්සේ, ඒ ඔක්කොම කරදිය. මුහුදු වතුර විතරයි.

දැං මේ ගංගා නදිය වගේ තමයි අපේ හාමුදුරුවරු, උඹලා ගොවිගමද,අරගමද මේ ගමද කියලා… බෙදාගෙන ඉන්නේ, මේ අය තාම ගලාගෙන ඇවිත් මුහුදට කියන බුද්ධ දර්ශනයට එකතු වෙලා නෑ.
තාම සිවුරු දාගත්ත ගිහියෙක්. තාමත් ඒ ඇත්තෝ ගංගානම් නදියෙන් කුළල් කනවා. ඇත්තටම ඔවුන් මුහුදට වැටුණේ නම් ඔවුන් එදාට “ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර”
බුදුහාමුදුරුවෝ වරක් කියනවා “න මුණ්ඩකේණ ශ්‍රමණෝ” හිස මුඩු කළාට මහණෙක් වෙන්නේ නෑ. සිවුරු දැරුවට මහණෙක් වෙන්නේ නෑ.

ඉතිං එයා තවම ඉන්නේ ගංගා නම් නදියේ, ගංගානං නදියට මුහුදු ජලය වෙන්න අවසර නෑ.
අවසර තියෙන්නේ මෝය කටින් එළියට වැටුණට පස්සෙයි. ඒ කිව්වේ, බුද්ධ දර්ශනය සැබෑ ලෙසම අවබෝධ කළාට පස්සෙයි.
ආන්න එදාට ගංගා නම් නදියට කුළල් කකා ඉන්නේ නැතිව සද්ධර්මය නැමති මහා සාගරේ රසය ඔහුට වැටහේවි

අනුපමා ගල්කඩවල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *