විල්පත්තු නාවික හමුදා භූමියේත් සිවිල් වැසියන් පදිංචි කරයිද?

0
17

මේ දිනවල ජනාධිපතිවරයාට එල්ල වී ඇති ප්‍රධාන චෝදනාවක් වන්නේ රාජ්‍ය නායකයා සේම ආරක්ෂක ඇමැතිවරයාද වශයෙන් ජාතික අාරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර නොගන්නා බවටය. එහෙත් පරිසර අමාත්‍යවරයා ලෙස පරිසරය ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කර තිබේ. මීට මාස කිහිපයකට පෙර දම්වැල් කියත් හෙවත් ‘‘චේන් සෝ’’ ලියාපදිංචියට පියවර ගන්නේ ඒ අනුවය. එහි තවත් ඉදිරි පියවරක් තබමින් මින් ඉදිරියට දම්වැල් කියත් ආනයනය තහනම් කරන බවත්, වඩුමඩු හා ලී ඉරීම තහනම් කිරීමට පියවර ගන්නා බවත් මෙවර ලෝක පරිසර දිනයදා ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් ජනතාව ප්‍රශ්න කරන්නේ පරිසරය රැකීමට මෙතරම් උනන්දුවක් දක්වන ජනාධිපතිවරයා විල්පත්තුව වන සංහාරය නැවැත්වීමට පියවර නොගන්නේ මන්ද යන්නය. මෙරට විශාලතම වන උද්‍යානය වන විල්පත්තුව ජාතික වන උද්‍යානය කපා හෙළි පෙහෙළි කර ජනතාව පදිංචි කරවන බවට චෝදනා එල්ල වූයේ රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාටය.

අලුත්ම වාර්තාවලින් කියැවෙන්නේ මේ අමාත්‍යවරයාගේ මැදිහත්වීම මත විල්පත්තුව වන උද්‍යානයේ ආරක්ෂාවට ස්ථාපිත කර තිබූ නාවික හමුදා අනුඛණ්ඩය ද ඉවත්කොට ඇති බවය.

විල්පත්තුවේ ආරක්ෂාවට නාවික හමුදා අනුඛණ්ඩයක් ස්ථාපිත කරනු ලබන්නේ මීට වසර නවයකට පෙරය. මන්නාරම, සිලාවතුර ‘බරණ’ නාවික විධාන මූලස්ථානය යටතේ විල්පත්තු රක්ෂිතයේ බටහිර මායිමේ විලච්චිය සීමාවට පිහිටි වියාඩුකුලම් ප්‍රදේශයේ මෙම නාවික හමුදා අනුඛණ්ඩය ස්ථාපිත කොට තිබිණ.

විල්පත්තුව රක්ෂිතයේ ආරක්ෂාවට අමතරව එහි රාජකාරියේ නිරතව සිටි නාවික සෙබළුන් එතෙක් පුරන්ව තිබූ බිම් අස්වද්දා පැරණි වී වගා කිරීමේ ව්‍යාපාරයක්ද ආරම්භ කළේය. ඒ අනුව වියාඩුකුලම් වැවෙන් වතුර ලබාගෙන යල මහ දෙකටම කුඹුරු අක්කර විසිපහක් පමණ අස්වද්දා වගා කටයුතු ද කෙරිණි. ජනාධිපතිවරයාගේ වස විසෙන් තොර වගා ව්‍යාපෘතිය අනුව නාවික සෙබළුන් මෙහි වගාවන් සඳහා භාවිත කරනු ලැබුවේ කාබනික පොහොර පමණකි.

නාවික සෙබළුන් වගාකරන භූමිය තුළ තමන්ගේ වගා බිම්ද ඇතැයි සිවිල් වැසියන්ගෙන් පැමිණිලි එන්නේ මේ අතරය. තමන්ගේ කුඹුරු අක්කර එකහමාරක පමණ ප්‍රමාණයක් නාවික හමුදා ගොවි බිමට අයත්ව ඇති බවට එක් සිවිල් වැසියෙක් රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට පැමිණිලි කරන්නේ ඒ අනුවය.

මීට මාස හතරකට පමණ පෙර සිලාවතුර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී අමාත්‍යවරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ ය. එහිදී ඔහු කියා සිටින්නේ නාවික හමුදාව කුඹුරු වගා කිරීම නැවැත්විය යුතු බවය. ඒ අනුව මෙවර යල කන්නයේ අදාළ කුඹුරේ වගා නොකිරීමට නාවික හමුදාව තීරණය කළේ ය. මේ වන විට කුඹුර වගා කිරීම පමණක් නොව ඒ ආසන්නයේ වූ නාවික හමුදා අනුඛණ්ඩයද ඉවත් කර ගැනීමට නාවික හමුදාවට සිදුව ඇත.

වාර්තාවන අන්දමට මෙම කඳවුර හා කුඹුරු ප්‍රදේශය අයත් වන්නේ වනජීවී දෙපාර්තමේන්තුවටය. ඊළඟ පියවර වන්නේ එම ප්‍රදේශයේද සිවිල් වැසියන් පදිංචි කරවීම බව කියැවේ. එහෙත් මෙම ප්‍රදේශයේ මීට පෙර සිවිල් වැසියන් පදිංචිව සිටි බවට සනාථ වී නැත. සිවිල් වැසියන් පදිංචි වී සිට ඇත්තේ ඉන් කිලෝමීටර් 50 ක් පමණ දුරිනි.

කෙසේ වෙතත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසන්නේ කිසිවකුගේ බලපෑමකට හෝ ඉල්ලීමකට එම කඳවුර ඉවත් නොකරන බවයි. එම නාවික අනුඛණ්ඩය විල්පත්තුවේ ආරක්ෂාවට ස්ථාපිත කළ එකක් නොවන අතර දේශීය සහල් ව්‍යාපෘතිය යටතේ වගා කටයුතු කිරීමට පමණක් තිබූ එකක් බවය. ඒ අනුව අවුරුද්දකට එක් කන්නයක් පමණක් කුඹුරු අක්කර එකහමාරක් පමණ දේශීය වී වගා කෙරුණු බව ඔහු සඳහන් කළේ ය. එහෙත් ඉන් ලැබෙන ආදායම ඒ සඳහා රාජකාරියට යොදවා ඇති සෙබළුන්ගේ වියදමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන නිසා එම අනුඛණ්ඩය ඉවත් කිරීමට පියවර ගෙන අැති බවද නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

කෙසේ හෝ වේවා අවසානයේ සිදුවනු ඇත්තේ විල්පත්තුවේ මීට පෙර සිදු වූ ආකාරයටම නාවික හමුදා කඳවුරු භූමිය හා ඒ අවට ප්‍රදේශයේද සිවිල් වැසියන් පදිංචි කරවීමය.

නාවික හමුදා අණුඛණ්ඩය පිහිටා තිබූ ස්ථානය

Aruna Newspaper – චමින්ද සේනාරත්න