News

නව දිල්ලියේ පෞද්ගලික රථ වාහන ධාවනය නතර කිරීමට සැරසෙයි

ඉන්දියාවේ නව දිල්ලි නුවර වායු දූෂණය තවදුරටත් උග්‍ර වුවහොත් නගරයේ පෞද්ගලික රථ වාහන ධාවනය නතර කරන බව එරට පරිසර දූෂණ පාලන අධිකාරිය පවසනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, මේ වන විට නව දිල්ලි නුවර ඇතුළු එරට උතුරුදිග ප්‍රදේශයේ විශාල භූමි ප්‍රදේශයක අවකාශය විෂ සහිත වායූන්ගෙන් වැසී පවතින බවයි. මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර නොවනු ඇතැයි අපේක්ෂා කරන නමුත් තත්ත්වය අවදානම් සහගත මට්ටමක් කරා ළඟා වුවහොත් පෞද්ගලික ප්‍රවාහන පහසුකම් භාවිතය නතර කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි ඉන්දීය පරිසර දූෂණ පාලන අධිකාරියේ සභාපති භූරේ ලාල් ප්‍රකාශ කළා. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පත් කළ ඉන්දීය පරිසර දූෂණ පාලන අධිකාරිය මේ වන විටත් පරිසර දූෂණය උග්‍ර වනු ඇතැයි සැලකෙන නොවැම්බර් පළමු වැනි දින සිට 10 දින දක්වා කාලය තුළ විවිධ ඉදිකිරීම්, ඩීසල් යොදා ගෙන ක්‍රියාත්මක වන විදුලි ජනන යන්ත්‍ර භාවිත කිරීම හා කසළ දහනය නතර කරන ලෙස යොජනා ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දීය මධ්‍යම පරිසර දූෂණ පාලන මණ්ඩලය සඳහන් කළේ, ඊයේ නව දිල්ලි නුවර ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ වායුවල අඩංගු විෂ සහිත කොටස් මීට සතියකට පෙර වාර්තා වූවාට වඩා 299 ගුණයකින් වැඩි බවයි. ලබන මස එළැඹීමට නියමිත දීපවාලි සැමරුමට සමගාමීව ඉන්දියාවේ වායු දූෂණය තවදුරටත් ඉහළ යනු ඇතැයි බලධාරීහු අනතුරු අඟවනවා. මේ අතර ඉතා සරල ක්‍රමවේද 25ක් අනුගමනය කිරීමෙන් ආසියාවේ වායු දූෂණයට ගොදුරුවන මිලියන ගණනක් පුද්ගලයින්ගේ ජීවිත ගලවාගත හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, මෙම ක්‍රමවේද අනුගමනය කළහොත් වසර 2030 වන විට ආසියාවේ බිලියන ගණනක් වැසියන් පිරිසිදු වාතය ආග්‍රහණය කරනු ඇති බවයි. PM 2.5 නමැති දූෂණ කාරකය අඩංගු වායු පරිසරයට නිකුත් කිරීම පාලනය කිරීම, එම දූෂණ කාරකය නිර්මාණය කෙරෙන ක්‍රියාකාරකම් අඩු කිරීම, වායු ගුණාත්මක භාවය ඉහළ නංවන සංවර්ධන ක්‍රියා සඳහා ප්‍රමුඛස්ථානය දීම, පොදු ප්‍රවාහන සේවා භාවිතය, ලැව් ගිනි හටගැනීම වැළැක්වීම, අපද්‍රව්‍ය සහ කෘෂිකාර්මික අපද්‍රව්‍ය දහනය වැළැක්වීම, විද්‍යුත් වාහන භාවිතය දිරි ගැන්වීම ආදිය ද මෙම පියවර 25ට ඇතුළත් වනවා.

Read more
මිනිසුන් මැරූ කොටි දෙන වෙඩි තබා ඝාතනය කරයි

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගම්මානවල සැරිසරමින් පුද්ගලයන් 13දෙනෙකෙු සපා කා ඝාතනය කළ කොටි දෙනක් වෙඩි තබා මරා දමා තිබෙනවා.   6 හැවිරිදි කොටි දෙන සහ ඇගේ මාස 9ක් වන පැටවුන් දෙදෙනා පසුගිය අගෝස්තු මාසයේදී ද පුද්ගලයන් 3දෙනෙකු සපා කෑ අතර, ඒ හේතුවෙන් එම ගම් ප්‍රදේශයේ 5000ක් පමණ ජනයා භීතියෙන් ඇලලී ගියා. පසුගිය වසර 2 තුළ මෙම කොටි දෙන තවත් පුද්ගලයන් දසදෙනෙකු සපා කා තිබෙනවා. කොටි දෙන රැකගැනීමට පරිසරවේදීන් උත්සාහයක නිරත වුව ද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ වනජීවි නිලධාරීන්ට ඇය මරාදැමීමට සිදුවුව ද එය ගැටලුවක් නොවන බවයි. ඊයේ රාත්‍රියේ මෙම කොටි දෙන නිරීක්ෂණය කළ වනජීවි නිලධාරීන් ඇය විසඥ කිරීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවූ හෙයින් වෙඩි තබා ඝාතනය කළ බව සඳහන්. ලොව කොටි ගහනයෙන් සියයට 60ක් එනම් 2,200ක් පමණ ඉන්දියාවේ වාසය කරන අතර ඉන් ආරක්ෂිත වන උද්‍යානය සහ කොටි රක්ෂිතවල සිටින්නේ තුනෙන් එකක් පමණයි.

Read more
ජමාල් ඛෂෝගි ඝාතනය සම්බන්ධයෙන් තුර්කියෙන් නිල ප්‍රකාශයක්

මාධ්‍යවේදී ජමාල් ඛෂෝගි ඝාතනය කළ ආකාරය පිළිබඳ ප්‍රථම වරට නිල ප්‍රකාශයක් නිකුත් කිරීමට තුර්කිය පියවර ගෙන තිබෙනවා. තුර්කි නීතිපතිවරයා ඉදිරිපත් කළ එම ප්‍රකාශයෙහි දැක්වෙන්නේ, තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලයට ඇතුළුවූ විගස ජමාල් ඛෂෝගිගේ ගෙල සිරකර ඔහු ඝාතනය කර ඇති බවයි. පසුව පූර්ව සැලසුමකට අනුව ඔහුගේ සිරුර කොටස් කර විනාශකර ඇතැයි ද එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වුණා. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය තුර්කි රජය වෙනුවෙන් ඔහු සිදුකර ඇත්තේ ඝාතනය පිළිබඳව ඔවුන් වෙත වාර්තා වූ කරුණු පදනම් කර ගනිමින්. ජමාල් ඛෂෝගි, ඉකුත් ඔක්තෝබර් 2 වැනි දා තුර්කියේ සෞදි අරාබි කොන්සල් කාර්යාලයට ඇතුළුවීමෙන් පසු ඝාතනය කරන්නට ඇතැයි පළවූ මාධ්‍ය වාර්තාවලින් අනතුරුව තුර්කිය මෙම ප්‍රකාශය ඉදිරිපත් කළ ද එය තහවුරු කිරීමට සාක්ෂි ඉදිරිපත් කර නැහැ. තුර්කි නීතිපති ඉර්ෆාන් ෆිඩාන් සඳහන් කළේ, ජමාල් ඛෂෝගි ඝාතනය සම්බන්ධයෙන් විමසීමට සෞදි අරාබි නීතිපතිවරයා හමුවූ නමුත් එම හමුවෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගත නොහැකි වූ බවයි. සෞදි අරාබිය මෙම හමුවීම් පිළිබඳ මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ. ඛෂෝගි ඝාතනය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සඳහා සෞදි අරාබිය අව්‍යාජ දායකත්වයක් ලබානොදෙනු ඇතැයි ද තුර්කිය ප්‍රකාශ කළා. ඛෂෝගි ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබිය ජාත්‍යන්තර ප්‍රජාවේ දැඩි විවේචනයට ලක් ව ඇති පසුබිමකදී සෞදි අරාබියේ සල්මාන් රජුගේ සොහොයුරු අහමඩ් බින් අබ්දුලාසිස් කුමරු යළි ත් රියාද් නුවරට පැමිණ තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඔහුගේ ආගමනය ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුගේ ආධිපත්‍යයට තර්ජනයක් වනු ඇති බවට මත පළවන බවයි. ඉහළ නිලධාරියකුගේ අණදීමකින් තොරව ඛෂෝගි ඝාතනය සිදුවිය නොහැකි බව පවසන තුර්කි පාලක පක්ෂය ඔහුගේ සිරුර ඇති ස්ථානය සෞදි අරාබි බලධාරීන් නොදැන සිටීමට හේතුවක් නැතැයි ද ප්‍රකාශ කළේ. මේ අතර ජමාල් ඛෂෝගි ඝාතනය හමුවේ සෞදි අරාබියට අවි ආයුධ අපනයනය අත්හිටුවීමට ස්විට්සර්ලන්තය පියවර ගෙන තිබෙනවා.

Read more
ජපානයේ සංක්‍රමණික නීති ලිහිල් කෙරෙන ලකුණු

ජපානයේ සංක්‍රමණික නීති ලිහිල් කෙරෙන කෙටුම්පතක් එරට කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙම නව නීතියට අනුව නව වීසා කාණ්ඩ දෙකක් යටතේ විදේශිකයින්ට කම්කරු රැකියා සඳහා ජපානයට ඇතුළු වීමට අවස්ථාව හිමිවනු ඇති බවයි. කෙසේ වෙතත් මෙම නව නීතිය ක්‍රියාත්මක වීමට නම් අදාළ නීති කෙටුම්පත ජපාන පාර්ලිමේන්තුව තුළ සම්මත විය යුතුයි. ජපානය සංක්‍රමණික නීති ඉතා දැඩි රටක් වන අතර රැකියා සඳහා එරටට ඇතුළු විය හැකි විදෙස් ශ්‍රමික සංඛ්‍යාව සීමා සහිත වනවා. එහෙත් නව නීතිය යටතේ ඉදිකිරීම්, ගොවිතැන් සහ සෞඛ්‍ය යන අංශ සඳහා විදෙස් ශ්‍රමිකයින්ට ජපානයට ඇතුළු වීමේ නව දොරටු විවෘත වනවා. අදාළ නීතියට අනුව පළමු වීසා කාණ්ඩය යටතේ සිය පවුලේ සාමාජිකයින් ද සමග විදෙස් ශ්‍රමිකයෙකුට අවුරුදු 5ක් ජපානයේ සේවය කිරීමට වීසා හිමිවනවා. ඉහළ මට්ටමේ කුසලතා සහිත සේවකයින් දෙවන වීසා කාණ්ඩයට සුදුසුකම් ලබන අතර අවසනයේ ඔවුන්ට එරට පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ද අයදුම් කිරීමට ද හැකි වීම විශේෂත්වයක්. කෙසේ වෙතත් කැබින්ට් මණ්ඩලයේ සම්මත වූ මෙම නව නීතිය එරට විරුද්ධ පක්ෂවල විවේචනයට ලක්ව තිබෙනවා. ඔවුන් පවසන්නේ, නව නීතිය සම්මත වුවහොත් එය එරට වැටුප් සහ අපරාධ අනුපාතයට බලපෑමක් සිදුවනු ඇති බවයි. එහෙත් ජපාන අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ අවධාරණය කළේ, යෝජිත නීති කෙටුම්පත රටේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ඉක්මවා නොයන්නක් බවයි. මේ යටතේ දැඩි කම්කරු හිඟතාවයට කඩිනමින් පිළියම් යෙදිය හැකි විශේෂ කුසලතා සහිත විදෙස් ශ්‍රමිකයින් පමණක් ජපානය විසින් පිළිගනු ඇති බව ජපාන අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ වැඩිදුරටත් පැවසුවා.

Read more
හිතුවක්කාර එංගලන්ත කෙල්ලො දෙන්නා ලංකාවට ඇවිත් බුදු දහමෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වූ හැටි

අප ජීවත්වන ශ්‍රී ලංකාව ඊට අන්‍යය වූ සංස්කෘතියකින් යුත් රටකි. බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වූ අපේ සංස්කෘතියේ සෙසු රටවලට වඩා දරු – දෙමව්පිය සම්බන්ධය ඉතා ඉහලය. ශ්‍රී ලංකාවේ බහුතර දරුවන් දෙමාපියන් සහ ඥාතීන් ඇසුරේ හැදිවැඩෙන අතර දෙමාපියන් සහ දරුවන් අතර පවතින බැඳීමද ශක්තිමත් බැඳීමකි. එම නිසාම දරුවන් දෙමාපියන් කෙරෙහිද ඉමහත් ගෞරවයෙන් කටයුතු කරනා අතර දෙමාපියන් රැකබලා ගැනීමද දරුවන්ගෙන් සිදුවේ. සෙසු රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ ශක්තිමත් පවුල් බැඳීමක් පවති. මීට හාත්පසින්ම වෙනස් බටහිර රටවල ගත් විට දූ දරු දෙමාපිය සම්බන්ධය අතිශය දුර්වලය. අවුරුදු 16 -18 සීමාවේදි එම රටවල දරුවන් පවුල හැරයන අතර ඉන්පසුව ඔවුන් දෙමාපියන් රැකබලා ගන්නේ නැත. එමනිසා බටහිර රටවල වැඩිහිටි පුද්ගලයන් හුදෙකලා වීම එම රටවල දැඩි සමාජ ගැටලුවක් බවටද පත්ව තිබේ. මෙවැනි සමාජ පරිසරයක් ඇති බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ රූපවාහිනි වැඩසටහනක් නිසා ශ්‍රී ලංකාව පිළිබදව ලෝකයේම අවදානයට ලක්ව තිබේ. බ්‍රිතාන්‍යයේ පවුලක මුරණ්ඩු තරුණ ගැහැනු දරුවන් දෙදෙනෙක් මෙම රූපවාහිනි වැඩසටහන විසින් ශ්‍රී ලාංකේය පවුලක් වෙත යම් කාලයකට භාර කරයි. ශ්‍රී ලාංකේය සංස්කෘතිය විසින් එම මුරණ්ඩු ගැහැනු දරුවන් දෙදෙනා සම්පූර්ණයෙන්ම වෙනස් කරන අයුරු එම වැඩසටහනෙන් පෙන්වයි. එම වැඩසටහන පහතින්,  

Read more
කළු ගඟ ජලාශය පිරෙයි - පරණ ලග්ගල නගරය ජලයෙන් යටවෙයි

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අවසන් මහා ජලාශ දෙක වන කළු ගඟ සහ මොරගහකන්ද ජලාශ දෙකේ කළු ගඟ ජලාශයේ ජලය පිරීම මේ දිනවල සිදුවෙමින් පවතී. කළු ගඟ ජලාශයේ ජලය පිරෙනවත්  සමග එම ප්‍රදේශයේ සිටි කුඩා සතුන් බේරා ගැනීමේ මෙහෙයුමක් වනජීවී නිලධාරීන් පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් සහ මහවැලි නිලධාරීන් එක්ව  ක්‍රියාත්මක කරමින් සිටීති . කළු ගඟ හරස් කිරීමත් සමඟ ජලාශයේ ජලය පිරෙමින් පවතීම හේතුව නිසා අතරමංව සිටින   ජලයට යටවූ  ප්‍රදේශවල සිටින කුඩා සතුන් ඇල්ලීමේ මෙහෙයුම වැසි තත්ත්වය නොසලකා වනජීවී නිලධාරීහු දැඩි වෙහෙසක් දරමින් සිදුකරති. විශාල වශයෙන් පිහිනීමට නොහැකි කුඩා සතුන් කටුස්සන් සර්පයින් තලගොයන් දඬුලේනුන් ආදී විවිධ සත්වයන්ගේ ජීවිත බේරාගැනීමට වනජීවී නිලධාරීන් හට හැකිව තිබේ. ලග්ගල පැරණි නගරය ද මේ වන විට ජලයෙන් යට වී තිබේ ,ලග්ගල නගර මධ්‍යයේ පිහිටි බොහෝ රජයේ ගොඩනැගිලි මෙන්ම පෞද්ගලික නිවාස ආදී සියල්ල ජලයෙන් යට වී තිබෙන ආකාරය එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි. මේ වන විට   පැරණි ලග්ගල නගරයේ පිහිටි   විද්‍යාල ගොඩනැගිල්ල රෝහල් ගොඩනැගිලි  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගොඩනැගිලි වල සුන්බුන් දිස්වේ. බොහෝ අතහැර දැමූ නිවාස මේ වන විට ජාලයෙන් යට වී හමාරය ඇතැම් නිවෙස්වල ඉහළ කොටස ජලයෙන් ඉහළට මතුවී තිබෙන ආකාරය එහි ගිය අපට දැකගැනීමට හැකියාව ලැබිණි. මේ දිනවල පවතින වර්ෂාවත් සමඟ කළු ගඟේ ජල මට්ටම ඉහළ ගොස් කළු ගඟ ජලාශය  කඩිනමින්  පිරෙමින් පවතින බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නිලධාරීහු පවසති. වස්ගමුව ජාතික වන උද්‍යානයේ වනජීවී නිලධාරීන් ඇලහැර, ලග්ගල, වනජීවි කාර්යාල වල නිලධාරීන් මෙන්ම දඹුල්ල පොලිසියේ පොලිස් ජිවිතාරක්ෂක සංගමයේ නිලධාරීන් එක්ව මෙම සතුන් බේරා ගැනීමේ මෙහෙයුම  ක්‍රියාත්මක කරමින් සිටින බව   ලග්ගල වන සත්ව අඩවි ආරක්ෂක එස්. එම්. සංජීව මහතා කියාසිටියේය. කළු ගඟ ජලාශයේ වතුර එක්රැස් වීමත් සමග මේ වන විට ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පිහිටි ග්‍රාම සේවා වසම් 12 ක් පමණ ජලයෙන් යටවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. තව දින කිහිපයක් ගතවෙද්දී එම ප්‍රදේශයේ පැරණි ගම්මාන සියල්ල ජලයෙන් යට වෙනු ඇත. කළු ගඟ ජලාශයේ ඉදිකිරීම් කටයුතු ද කඩිනමින් නිම වන අයුරු එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි. ඇතැම් වනසතුන් දිවි බේරා ගැනීම සඳහා දැඩි උත්සාහයක නිරතවන සංවේදී දසුන් රැසක් අපට මෙහිදී දැක ගැනීමට හැකියාව ලැබීම ද විශේෂත්වයකි. කුඩා බෝතල් වල පාවෙමින් සිටි කුඩා සතුන් එමෙන්ම ලී කොට වල දැව කඳන් මත පාවෙමින් සිටි සතුන් ජලයේ පාවෙමින් සිටි සතුන්ගේ ජීවිත ඔවුහු දැඩි වෙහෙසක් දරමින් බේරා ගැනීම විශේෂත්වයකි. මෙසේ බේරා ගන්නා සතුන් ආසන්නයේම පිහිටි කැලෑවල වලට නිදහස් කරන බව අඩවි වනජීවී නිලධාරීහු පවසති. (දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Read more
මරා දමා වසර පනහකට පසු සැමරූ මරදානේ චොප්පේ

මරදාන ‍පොලිස් ස්ථානයෙන් පිටත් වූ ජීප් රථය  සිමන්ස් පාර හන්දියෙන් හැරී ඩීන්ස් පාර ඔස්සේ ගමන් කරන්නට විය.  මරදාන ‍පොලිස් ස්ථානාධිපති ලොයිඩ් පෙරේරා සමග ‍පොලිස් භටයින් හතරදෙනකු මේ යන්නේ මරදාන ‍පොලිස් වසමේ රාත්‍රී මුර සංචාරයක කටයුතු සඳහාය.  මරදාන මාර්කෙට්ටුව පසුකර ටික දුරක් පැමිණි ජීප් රථය  පියදාස සිරිසේන මාවත ඔස්සේ ගමන් කළේ නැවතත් මරදාන බොරැල්ල පාරට පිවිසීම සඳහාය. නමුත් ජීප් රථය හදිසියේම නතර කිරීමට සිදුවූයේ බයිසිකලයක් අතුරු මගක සිට ජීප් රථය ඉදිරියට පැමිණීම නිසාය.  බයිසිකලයේ  පැමිණි පුද්ගලයා අත්දිග කමිසයකින් සහ සරමකින් සැරසී සිටියේය. දෙපයෙහි කළු පාට රබර් සෙරෙප්පු යුගළක් විය. අතේ බැටරි කෑලි පහේ දිග වින්චෙස්ටර් විදුලි පන්දමකි.  ජීප් රථයේ සිටි එක් ‍පොලිස් භටයෙක් ජීප් රථයෙන් හිස එළිපිට දැම්මේ ‍පොලීසියටම හිමි ආදරණීය බසින් පුද්ගලයා ඇමතීම සඳහාය. නමුත් ඔහු පිටවෙන්නට ආ වදන් ගිල ගත්තේය. ඒ වෙනුවට සුහද හඬකින්,  ආ චොප්පෙ අයියා යයි කීවේය. ආ සර්ල පැට්රෝල් යනව වගේ. සර්ල යන්න මම මේ පැත්ත බලාගන්නම් එක කකුලක් ‍පොළවට බරදී අනික් කකුල බයිසිකල් පැඩලය මත රඳවාගෙන සිටි පුද්ගලයා කීවේය. ඒ චොප්පේ අයියාය. එක්දහස් නවසිය හැට ගණන්වල මුළු මරදාන ඒරියා එකම සන්තබස්තියම, කුප්පියාවත්ත, පරණවාඩිය, ස්ටොක් වත්ත, පුංචිබොරැල්ල යන ප්‍රදේශ හොල්ලාගෙන සිටියේ මෙම චොප්පෙ අයියාය. රාත්‍රී අඳුර වැටුණ පසු අනුග්‍රාහකයකු අල්ලා ගැනීමට පරණ වාඩිය, පුංචි බොරැල්ල හන්දිය, ඩීන්ස් පාර, මරදාන දුම්රිය‍පොළ ඉදිරිපිට කැරකෙන ගණිකාවන් චොප්පෙ අයියා එනවිට අඳුරු මුල්ලක සැඟවුණේ චොප්පෙ අයියා දුටහොත් කුණු බැණුම් ඇසීමට සිදුවන නිසාය. හැට ගණන්වල මුළු මරදාන ඒරියා එකේම වෙනත් ලපයි සිපයි ‍පොරවල් චණ්ඩි පාට් දමමින් හුලාහුප් නටන්න පැමිණියේ නැත. මුළු මරදානේම අණසක පැතිරුවේ චොප්පෙ අයියාය. චොප්පෙ අයියා ඉන්න කාලයේ මරදානේ හොරු සිටියේ නැත. කප්පම්කාරයෝ සිටියේ නැත. බ්‍ලේඩ් ඩප්පි, ටිංකිරි ටින් තිබුණේ නැත. මුළු මරදානම සරන්ඩර්ය.  එක්දහස් නවසිය තිස්පහේ පෙබරවාරි හතරවැනිදා මරදාන මරියකඩේ ප්‍රදේශයේ උපන් මොහොට්ටිගේ දොන් ධර්මදාස රාජපක්ෂ නොහොත් චොප්පෙ අයියාට සහෝදරයන් සතර දෙනකු විය. ලෝර්ඩ්, ප්‍රියන්ත, මුනිදාස, ‍පොඩි මහත්තයා ඒ හතරදෙනාය. චොප්පෙගෙ පියා මනුවෙල් රාජපක්ෂය. ඔහු දක්ෂ ලීබඩු ‍පොලිෂ් කරන්නෙකි. සේවය කළේ දයාවංශ ජයකොඩිගේ පියාගේ මරදාන පිහිටි ලීබඩු සාප්පුවේය.  ඒ කා‍ලේ මරදාන ආනන්ද පාරේ කෙළවර උසාවිය ළඟ තියෙන වයිට් පාර්ක් එකට එනවා. අර වේවැල්වලින් හදපු රාග බෝල ගහන්න. මම දන්නතරමට හොඳ මිනිහෙක් දයාවංශ ජයකොඩි  චොප්පෙ අයියා පිළිබඳව මතකය අලුත් කරමින් පැවැසීය. චොප්පෙ ඉගෙන ගත්තේ කුප්පියාවත්ත ආණ්ඩුවේ පාස‍ලේය. පහේ පන්තිය දක්වා පමණි. මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපති කේ. කරුණාදාස චොප්පෙගෙ පන්ති මිත්‍රයකි.  චොප්පෙ අයියා අසාමාන්‍ය ශරීර ස්වභාවයකින් යුක්ත අයකු විය. ඔහුගේ අත්දෙක කකුල් දෙකේ දණහිසෙනුත් පහළට දික්ව සිටී. මෙනිසා ඔහුට කෙනකුට දුර සිටම තියුණු මුෂ්ටි  ප්‍රහාරයක් එල්ල කිරීමේ අපූරු හැකියාව තිබුණි.  එසේම දකුණු කකුල ඉහළට නව බෙල්ල වටේ ඔතා ගැනීමේ විස්මිත හැකියාවක්ද චොප්පෙ අයියා සතු විය. චොප්පෙ අයියා දක්ෂ චීනාඩි කාරයෙකි. හතරමුල්ල පැන අහස් ප්‍රහාර ඔහු එල්ල කරන්නේ අකුණු ගසන්නාසේය.  චොප්පෙ අයියා මේ චීනාඩි ඉගන ගත්තේ කෙහෙල්වත්තේ චීනාඩි සයිමන් අයියාගෙනි. ඒ දිනවල බොරැල්ල කානිවල් එකේදී චොප්පෙ අයියා ඔට්ටු දමා නන්දිසේන කුරේ සමග චීනඩි ගහනවා නරඹන්නට මිනිසුන් පැමිණෙන්නේ ‍පොරකමිනි. නන්දිසේන කුරේ හිටපු ඇමැති සිරිසේන කුරේගේ වැඩිමහල් සහෝදරයාය. හැට ගණන්වල මරදාන අවට ප්‍රශ්න පමණක් නොව වෙනත් ප්‍රදේශවල ප්‍රශ්නද විසඳා ගැනීමට එන්නේ මරදාන චොප්පෙ අයියා ළඟටය.  චොප්පේ අයියා ජීවත් වුණේ මැද කොළඹ ආසන්නයේය. එනිසා ඔහුට බොහෝ දේශපාලන සබඳතා විය. චොප්පෙ අයියා කැපුවත් කොළය. උග්‍ර යූඑන්පී කකුලකි. ඒ දවස්වල අපේ තාත්ත නිතරම බොරැල්ලෙ වුඩ්ලන්ඩ් වලව්වට යනව. ඩඩ්ලි හාමු තාත්තගෙ හොඳ හිතවතෙක්.  මේ තොරතුරු මට කියන්නේ චොප්පෙ අයියාගේ පුතෙකි. ඩඩ්ලි සේනානායක සහ චොප්පෙ අයියා හොඳ මිතුරන්ය. ඩඩ්ලි සේනානායකගේ දුම්කොළ පයිප්ප කීපයක්ම අදටත් චොප්පෙ අයියාගේ ගෙදර සුරැකිව ඇත. චොප්පෙ අයියාගෙ හොඳම ගෝලයා මදාවි සෝමෙය. දෙන්නාම හොඳ චීනාඩිකාරයෝය. යන්නේ එන්නේ එකටමය. ඒ කොළඹ නගරය පමණක් නොව මුළු ලංකාවම පුරාම මොරිස් මයිනර් කාර් රජ කළ යුගයයි. චොප්පෙ අයියාද තම අගසව්වන් සමග ගමන් කළේ මොරිස් මයිනර් මෝටර් රථයකය. අංකය 2 ශ්‍රී 4016ය. එය චොප්පෙ අයියාගේ මිත්‍ර, මරදාන කරුණාදාස ලර්නර්ස් අධිපති කරුණාදාසගේය. රාහුල සිල්වා යනු එකල රහස් ‍පොලීසියේ ‍පොලිස් පරීක්ෂකවරයෙකි. නමගිය ‍පොලිස් කෙරුමෙකි. දිනක් මරදාන පටු පාරක රාහුල සිල්වා තම ජීප් රථය පදවාගෙන පැමිණියේය. අනික් පැත්තෙන් එයට මුහුණලා චොප්පෙ අයියාගේ මොරිස් මයිනර් රථය  පැමිණියේය. වාහන දෙකට එකවර මාරුවීමට නොහැක. කිසිවෙක් හෝ ආපස්සට ගත යුතුය. චොප්පෙ අයියා කිසි ගණනක් නැතිව මෝටර් රථය තුළ සිටී. මම රාහුල සිල්වා ජීප් රථයෙන් බැස පැමිණි හැඩිදැඩි ‍පොලිස් පරීක්ෂකවරයා පැවැසීය. රාහුලල ගොඩක් ඉන්නව. දොරේ එක්කෙනෙක් අපේ බුදු හාමුදුරුවන්ගෙ පුතා රාහුල. ඔය වගේ ඉන්නවා. ඒත් චොප්පෙල ඉන්නෙ එක්කෙනයි. ඒක නිසා පස්සට ගන්ඩ දොරේ චොප්පෙ අයියා පැවැසීය. ‍පොලිස් පරීක්ෂක රාහුල සිල්වා සිනාසෙමින් තම ජීප් රථය පසු පස්සට ගත්තේය. චොප්පෙ අයියා සිනාවෙමින් ඉදිරියට ගියේය. චණ්ඩියා චිත්‍රපටය හදන කාලෙ ගාමිණී ෆොන්සේකා ඇවිල්ල අපේ තාත්තට කිව්වා චිත්‍රපටයේ ‍පොඩි කෑල්ලක් රඟපාන්න එන්න කියලා චොප්පෙ අයියාගෙ පුතා අතීත සිදුවීමක් සිහිපත් කරයි.  මොකක්ද පාට් එක චොප්පෙ අයියා ගාමිණීගෙන් විමසීය. පයිට් එකකදි මගෙන් ගුටිකන්න ගාමිණී පැවැසීය. තමුන්නාන්සේගෙන් ගුටිකන්න? තමසෙ පිච්චර්වල වීරයා වෙන්න ඇති. ඒත් මමයි රටේ වීරයා චොප්පෙ අයියා පැවැසුවේ ගාමිණී ෆොන්සේකාව තඹ පයිසයකටවත් ගණන් නොගෙනය. මිනිස්සු ඉන්නෙ කාටද කියල බලනවා. දවසක ටවර් එකට ගාමිණී එනවයි චොප්පෙ අයියා එනවයි කියල බලනවා. කාව බලන්නද වැඩියෙන් මිනිස්සු එන්නෙ කියලා චොප්පෙ අයියා වැඩිදුරටත් පැවැසීය. චොප්පෙ අයියාගෙ කතාව සහසුද්දෙන්ම නිවැරදිය. වරක් චොප්පෙ  අයියාට විරුද්ධව  නඩුවක් මාලිගාකන්ද උසාවියේ ඇසීමට තිබුණි. සාක්කි නොමැති නිසා නඩුව විසි කෙරුණි. සමහරුන් පවසන්නේ එදින සාක්කි නොමැති නිසා චොප්පෙ  අයියාට විරුද්ධව තිබූ නඩු පනස් හතක්ම විසි කළ බවය. චොප්පෙ අයියාගේ නඩුවලින් පසුව මුළු උසාවියම හිස්විය. පැමිණ සිටි සියලුදෙනාම චොප්පෙ අයියාගේ හිතවතුන්ය. චොප්පෙ අයියාගේ නඩුවක් ඇති දිනයක ඒ උසාවිය අවට සම්පූර්ණයෙන් පිරී යන්නේ මොරිස් මයිනර් ටැක්සිවලිනි. ඔවුන් එන්නේ චොප්පෙ අයියාගේ ආරාධනයෙන් නොවේය. එදා චොප්පේ ගාමිණි ෆොන්සේකාට එසේ කීවත් චොප්පෙ මළදා අවමඟුල් උත්සවයෙ ස්තුති කතාව කළේ ගාමිණි ෆොන්සේකාය. චොප්පෙ අයියාට සහ මදාවි සෝමෙට කෝච්චියක් පැදවීමට දිගු කාලයක සිට ආසාවක් විය. දිනක් ඔවුන් දෙදෙනා මරදාන දුම්රිය ස්ථානයට ගොස් ටික වේලාවක් බලා සිටියහ. එක දුම්රියක  රියැදුරු සහ සහයක අඟුරු දමන්නන් දුම්රියෙන් බැස ගිය  පසු චොප්පෙ අයියා සහ මදාවි සෝමෙ දුම්රියට නැඟ එය මරදාන සිට කොටුව දෙසට පදවන්නට විය. නමුත් දෙදෙනාම දුම්රිය නතර කරන අන්දම දැන සිටියේ නැත. දෙදෙනා ඉදිරියට ඇදෙන දුම්රියෙන් පිටතට පැන ගත්හ. දුම්රිය කඩාගෙන ගොස් පීලි පැන නතර විය. ඉස්සර දවසක වේ.වී. අබේගුණවර්ධන කියන පත්තර කර්තෘ මහත්තයකුගෙ පාකර් පෑනක් බම්බලපිටියේදි පිට් ‍පොකට් ගහල තියෙනවා චොප්පෙ අයියාගෙ පුතා තවත් සිද්ධියක් සිහිපත් කරන්නට විය. පත්තර කතුවරයා මේ හොරකම බම්බලපිටිය ‍පොලීසියට පැමිණිලි කළේය. අපිට කියල වැඩක් නැහැ. මරදානෙ චොප්පෙ අයියට කියල බලන්න ‍පොලීසියේ පිළිතුර විය. පත්තර කතුවරයා චොප්පෙ අයියා මුණගැසුණි. කොහේදිද නැතිවුණේ? චොප්පෙ අයියා විමසීය. බම්බලපිටියෙදි හෙට උදේ අටට මෙතැනට  එන්න. මහත්තයට මහත්තයගෙ පෑන ලැබේවි චොප්පෙ අයියා පිළිතුරු දුන්නේය. චොප්පෙ අයියා ඒ සැණකින් බම්බලපිටියේ පාලට පණිවුඩයක් යැවීය. බම්බලපිටියේ චණ්ඩියා පාලය.  මගෙ යාළු මහත්තයකුගෙ වටිනා පාකර්  පෑනක් අද බම්බලපිටිය හන්දියෙහි ‍පොකට් ගහල තියෙනවා. හොයල බලල ඒක මිනිහත් එක්ක එවපන් බම්බලපිටියේ පාල ඒ අවට ‍පොකට්කරුවන් විමසූ විට පාකර් පැන ඉස්සූ ‍පොකට්කාරයා හමුවිය. හෙට  උදේ හය වෙද්දී උඹ ඕක චොප්පෙ අයියට ගිහිල්ල දෙන්න ඕන පාල නියෝග කළේය. පත්තර මහත්තයා උදේ අටට චොප්පෙ අයියාව මුණගැසීමට ගිය විට ඔහුට තමන්ගේ නැති වූ පාකර් පෑන ලැබුණි. එකල කොළඹ 10 මරදාන පාරේ අංක 493 දෙල්ගහයට ගෙදර විසූ සර්වෝදයේ ඒ.ටී. ආරියරත්නව මැරීමට කොන්ත්‍රාත්තුවක් ලැබි පසුව එය ඉවතට දමා ඒ.ටී. ආරියරත්න සමග චොප්පෙ අයියා මිත්‍රවූ කතාවද ඉතාමත් ප්‍රකට එකකි. 1968 ඔක්තෝබර් 16 දින තියුණු කැපුම් තුවාල සහිතව චොප්පෙ අයියා මරා දමා තිබුණේය. ඔහුගේ අවමඟුල් උත්සවය සිදුවූයේ මහත් උත්සවාකාරයෙනි. කුඩා හෙලිකොප්ටරයකින් දේහය ගෙන යන අවමඟුල් පෙරහරට මල් ඉසිනු ලැබිණි. චොප්පෙ අයියා මියගොස් වසර පනහකි. ඒ වෙනුවෙන් ගුණසමරු උත්සවයක් පසුගිය 16 වැනිදා පැවැත්විණි. එම උත්සවය පිළිබඳ සමරු ඵලක මරදාන පංචිකාවත්ත, පුංචිබොරැල්ල ආදී ප්‍රදේශවල ලයිට් කණුවක් ගානේ එල්ලා තිබුණි. මියගොස් වසර පනහක් ගතවුවත් මිනිස්සුන්ට චොප්පෙ අයියා අමතක වී නැති වග ඉන් පෙනේ. එසේම චොප්පෙ එක්තරා උප සංස්කෘතියක්ද වී ඇත්තේය. අදත් ගමේ චණ්ඩියෙකුට කියන්නේ ඌ චොප්පෙ කෙනෙක් කියාය. පාර්ලිමේන්තුවේ පවා මන්ත්‍රීවරයෙක් කලබලකාරී ලෙස හැසිරුණු විට ‘මොකද මේ චොප්පෙ වෙන්නද හදන්නෙ’යි අසන්නේය. ඒ චොප්පෙ අයියා ‘වන් ඇන්ඩ් ඔන්ලි’ නිසාය. පීටර් කැනියුට් පෙරේරා ඡායාරූප පිටපත් කිරීම – මලිත් ගමගේ

Read more
2020 ජනාධිපතිවරණයෙන් ජය කාටදැයි ප‍්‍රකට ජ්‍යෙතිර්වේදී හිමියන් තත්කාලයෙන් කැට තබා කියයි

2020න් පසු බිහිවන රාජ්‍ය නායකයා කවුදැයි ශ්‍රාස්ත්‍රපති ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන් අනාවැකි පල කරති. වයස අවුරුදු 92ක් වන උන් වහන්සේ දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයක වැඩ වාසය කරන අතර ජනාධිපතිවරණයක්ද නුදුරේදී පැවැත්වීමට නියමිතව තිබියදී පල කරන ලද මෙම අනාවැකිය විශේෂය. සිය අනාවැකිය මගින් උන් වහන්සේ පෙන්වා දෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මේ මොහොතේ ගතවන ග්‍රහ පිහිටීම් බලවත් නිසා දෙවැනි ධුර කාලයක්ද ජනාධිපති වීමට හැකියාව ඇති බවයි. පසුගිය ජනාධිපතිවරණයෙන්ද මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගන්නේ යයි මෙහිමියන් අනාවැකි පළ කර ඇත. 49,075 Viewers

Read more
‘Ride with Pride’ පාපැදි සවාරිය සාර්ථකව අවසන්

යුද්ධ හමුදාව විසින් දෙවන වරට සංවිධානය කරන ලද ‘Ride with Pride’ පාපැදි සවාරිය පාපැදි ධාවන ක්‍රිඩකයින් සියගණනකගේ සහභාගිත්වයෙන් ගාලුමෝදර පිටිය අසලින් ඉරිදා (28) දින උදෑසන ආරම්භ විය. මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් ගාලුමෝදර පිටිය අසල දී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එහිදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ‘Ride with Pride’ පාපැදි සවාරියේ ධජය ඔසවා නරඹන්නන්ගේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ පාපැදි සවාරිය නිළ වශයෙන් ආරම්භ කරන ලදි. යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ සිවිල් අංශයන් නියෝජනය වන පරිදි පාපැදි ධාවකයින් 200 කට අධික ප්‍රමාණයක් සහභාගි වූ මෙම දැවැන්ත පාපැදි සවාරිය යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අනුර සුදසිංහ සහ යුද්ධ හමුදා පාපැදි කමිටුවේ ප්‍රධානි බ්‍රිගේඩියර් දුමින්ද සිරිනාග යන ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ මූලිකත්වයෙන් හා එම කමිටුවේ සමාජිකයින්ගේ සහයෝගය ඇතිව සංවිධානය කරන ලදි. මෙම පාපැදි සවාරිය ගාලුපාර ඔස්සේ කොල්ලුපිටිය, ආර් ඒ ද මෙල් මාවත, මොරටුව, පානදුර (පරණ ගාලුපාර) සහ වලාන හන්දියෙන් නැවත හැරි කටුබැද්ද, යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපල අසලින් අවසන් විය. පාපැදි සවාරිය අවසන්වීමෙන් අනතුරුව කටුබැද්ද, විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපල අසල දී යුද්ධ හමුදාධිපතිතුමන් පාපැදි සවාරිය සඳහා සහභාගි වු පාපැදි ධාවකයින් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත්හ.

Read more